July 1, 2026

පොසොන් පොහෝ දින (29) මාලබේ නගරයේ දන්සලක් අසලදී තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයස අවුරුදු 16 සහ 17 යන වයස්වල පසුවන සැකකරුවන් පස්දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණයකුට හෙල්මට්වලින්, පා පහරින් සහ මුෂ්ටි ප්‍රහාරවලින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ, ඒ පිළිබඳව මාලඹේ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ඊයේ දිනයේදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

කොතලාවල, පට්ටියවත්ත පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් එදිනම අත්අඩංගුවට ගෙන තිබේ.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ බත් දන්සලක පෝලිමක ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම සිදුවීම හටගෙන ඇති බවයි.

පෝලිම කඩාගෙන ඉදිරියට යෑමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකුට, පෝලිමේ අගට යන ලෙස වින්දිත තරුණයා පවසා ඇති අතර, එය පසුව මෙලෙස ප්‍රචණ්ඩකාරී ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (01) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව මාලබේ පොලිසිය සඳහන් කළේය.