August 5, 2026

වසර 2500කට වැඩි ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට යෝජිත සත්ව සුබසාධන පනත් කෙටුම්පත හේතු විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, මෙම පනත ක්‍රියාත්මක වීම තුළින් ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර සඳහා අලින් යොදා ගැනීම පවා වැළකී යෑමේ අවදානමක් පවතින බවයි.

පනත මගින් අලි ඇතුන් මත අධික බර පැටවීම තහනම් කර ඇති බවත්, නව නීති සම්පාදනය තුළින් කරඬුව වැඩම කරවීම පවා වළක්වන ලෙස යම් පාර්ශ්වයකට අර්ථකථනය කළ හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එමෙන්ම සතුන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන්ද දැඩි සීමාවන් පනවා ඇති බව හෙතෙම පැවසීය.

සුනඛයන් වැනි ගෘහාශ්‍රිත සතුන් සඳහා කරපටි සහ දම්වැල් භාවිත කිරීම පවා මෙම නීති මගින් සීමා කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් බවට පත්කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළේම කොටසක් ලෙස මෙම පනත ඉදිරියට ගෙන එන බවටද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.