August 5, 2026

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අගෝස්තු 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කාර්යාලයට අනුයුක්ත කර සිටි සේවකයින් පිරිසක් තම පෞද්ගලික කටයුතු සඳහා යොදා ගනිමින් රජයේ මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අද දිනයේ අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ, අදාළ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන්නේ අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයේ කටයුතු කළ කාලසීමාව තුළ අදාළ කාර්යාලය වෙත බඳවා ගත් සේවකයින් සිව්දෙනෙකු  ඔහුගේ පෞද්ගලික කටයුතු සඳහා යොදාගෙන ඇති බවයි.

එම සේවකයින් අතරින් තිදෙනෙකු හිටපු අමාත්‍යවරයාට අයත් ඉන්ධන පිරවුම්හලක සේවයේ යොදවා තිබූ අතර, අනෙක් සේවකයා තමන්ට නියමිත නිල කාර්යාලයේ රාජකාරිවල නිරත වී නොමැති බවද අනාවරණය වී තිබේ.