August 11, 2026

හෙට (12) හිරු උදාවීමට පෙර බුධ, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නැප්චූන් යන ග්‍රහලෝක 6ක් නැගෙනහිර සහ දකුණු අහස හරහා එක එල්ලේ දිස්වන ‘ග්‍රහලෝක පෙළහැරක්’ (Planet Parade) නරඹන ලෙස ආතර් සී. ක්ලාක් නූතන තාක්ෂණයන් පිළිබඳ ආයතනයේ තාරකා විද්‍යා අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම ග්‍රහලෝක 6 අතුරින් අඟහරු, සෙනසුරු, බුධ සහ බ්‍රහස්පති යන ග්‍රහලෝක 4 නිරුවත් ඇසට දර්ශනය වන අතර, යුරේනස් නැරඹීමට දුරදක්නයක් සහ නැප්චූන් නැරඹීමට තාරකා විද්‍යාත්මක දුරදක්නයක් අවශ්‍ය වේ.

මෙම දර්ශනය නැරඹීමට සුදුසු වේලාව වන්නේ, හෙට අලුයම 4.30 ත් 5.15 ත් අතර කාලය (හිරු උදාවීමට මිනිත්තු 60-90 කට පෙර) වේ.

දිශාව වන්නේ, නැගෙනහිර ක්ෂිතිජයේ සිට දකුණු අහස දෙසට ය.

මෙහිදී අඟහරු සහ සෙනසුරු පහසුවෙන් හඳුනාගත හැකි අතර, බුධ සහ බ්‍රහස්පති නැගෙනහිර ක්ෂිතිජයට ආසන්නව පහළින් පිහිටන බැවින් හිරු උදාවට ආසන්න වනවිට නිරීක්ෂණය තරමක් අපහසු විය හැක. ශ්‍රී ලංකාව සමකයට ආසන්නව පිහිටීම නිසා මෙය නිරීක්ෂණයට ඉතා සුදුසු පරිසරයක් නිර්මාණය වේ.

මීට අමතරව, අගෝස්තු 12 වැනිදා රාත්‍රියේ සිට 13 වැනිදා අලුයම දක්වා කාලය තුළ ප්‍රකට ‘පෙරසීඩ් උල්කාපාත වර්ෂාව’ ද උපරිම මට්ටමින් දර්ශනය වීමට නියමිතය.

වසර 133 කට වරක් සූර්යයා වටා ගමන් කරන ‘109P/Swift-Tuttle’ ධූමකේතුවේ කොටස් මඟින් මෙම උල්කාපාත වර්ෂාව නිර්මාණය වන අතර, එය ‘පර්සියස්’ (Perseus) තාරකා රාශිය දෙසින් මතුවන බවක් පෙනී යයි.

එය නැරඹීමට හෙට (12) මධ්‍යම රාත්‍රියෙන් පසුව ඊසාන දිග අහස නිරීක්ෂණය කළ යුතුය.

මෙවර උල්කාපාත වර්ෂාව පැවැත්වෙන කාලයේ නව සඳ බැස යන බැවින් අහස තද කළුවර වී නිරීක්ෂණයට ඉතා යහපත් පසුබිමක් සැකසේ. පැහැදිලි අහසක් පවතින විට පැයකට උල්කාපාත 100ක් දක්වා දැකබලා ගත හැක. අන්ධකාරයට ඇස හුරු කරගැනීම සඳහා විනාඩි 20-30ක කාලයක් අහස දෙස බලා සිටින ලෙස උපදෙස් දෙනු ලැබේ