February 22, 2026

වසර 50කට වැඩි කාලයකට පසු පළමු වරට ලබන මාර්තු මස මුලදී සඳ වටා මිනිසුන් සහිත මෙහයුමක් දියත් කිරීමට නාසා ආයතනය ඉලක්ක කර තිබේ.

එය මානව වර්ගයා අභ්‍යවකාශයේ සිදුකරන දුරම ගමන වනු ඇත.

ආටිමිස් II මෙහෙයුමේදී ගගනගාමීන් සිව්දෙනෙකු සඳෙහි දුර පැත්ත වටා දින 10ක ගමනක් ආරම්භ කර පෘථිවියට ආපසු පැමිණෙනු ඇති අතර එය අනාගතයේ චන්ද්‍රයා මත කරන ගොඩබෑමකට මග පාදයි.

රොකට්ටුව ඉන්ධනවලින් පුරවා ගණන් කිරීමේ අනුපිළිවෙළ දක්වා වන සැබෑ තත්ත්වයන් අනුගමනය කරමින් සාර්ථක පෙරහුරුවක් කිරීමේ තීරණාත්මක පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයකින් පසුව, මුල්ම දියත් කිරීමේ දිනය ලෙස නාසා ආයතනය මාර්තු 6 වැනිදා නියම කළේය.

“සෑම රාත්‍රියකම මම සඳ දෙස බලනවා. සඳ අපට කතා කරන බවත් අපි සූදානම් බවත් මට දැනෙන නිසා මම සැබවින්ම උද්යෝගිමත්ව ඉන්නේ,” යනුවෙන් නාසා හි ලෝරි ග්ලේස් සිකුරාදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවාය.

“ආටිමිස් II සඳහා උද්යෝගය ඇත්තටම, දවසසින් දවස ගොඩ නැගෙනවා, අපිට ඇත්තටම ඒක දැනෙන්න පටන් අරන් තියෙන්නේ” යැයි ඔහු සඳහන් කළේය.

පෙබරවාරි මස මුලදී සිදු වූ පළමු පෙරහුරුව, දියත් කිරීමේ පෑඩයේ හයිඩ්‍රජන් ඉන්ධන කාන්දුවක් හේතුවෙන් කලින් අවසන් විය.

පැවති ගැටළු දැන් විසඳා ඇති බව ග්ලේස් පැවසුවාය.

“ඊයේ අපට සැලසුම් කළ කාල රේඛාව තුළ රොකට්ටුව සම්පූර්ණයෙන්ම පිරවීමට හැකි වුණා. අපේ දියත් කිරීමේ ගණනය සාර්ථක බව පෙන්නුම් කළා,” ඇය පැවසුවාය.

රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර් සහ ක්‍රිස්ටිනා කොච් යන ඇමරිකානුවන් තිදෙනා සහ කැනේඩියානු ජාතික ජෙරමි හැන්සන් ආටිමිස් II කාර්ය මණ්ඩලයට අයත් වේ.

සාර්ථක පෙරහුරුවෙන් පසු කාර්ය මණ්ඩලය උද්යෝගිමත් වූ බවත් පසුව නිරෝධායනයට යන බවත් ග්ලේස් පැවසුවාය.

ඔවුන් නාසා හි මෙගා මූන් රොකට්ටුවෙන් ඔවුන්ගේ ගමන ආරම්භ කරනු ඇත.

එම යානය මීටර් 98ක් උස යානයකි.

එය 2022 නොවැම්බර් මාසයේදී ආටිමිස් I මෙහෙයුම සඳහා එක් වරක් පමණක් පියාසර කර ඇත.

එහිදී පියාසැරිය සිදු කෙරුණේ යානයේ පුද්ගලයන් නොමැතිවය.

මෙවර රොකට්ටුවේ මුදුනේ පිහිටා ඇති ඔරියන් කැප්සියුලයේ කාර්ය මණ්ඩලය සිටිනු ඇත.

ඔවුන්ගේ අභ්‍යවකාශ යානයේ ඇතුළත කුඩා බස් රථයක ප්‍රමාණය පමණ වන අතර, දින 10ක මෙහෙයුම අතරතුර සිව්දෙනා ජීවත් වන්නේ, ආහාර ගන්නේ , වැඩ කරන්නේ සහ නිදා ගන්නේ ඒ තුළය.

ඔවුන්ගේ ගමනේ පළමු දිනය පෘථිවිය වටා කක්ෂයේ ගත කරනු ඇත.

එවිට සියලු පද්ධති හොඳින් ක්‍රියාත්මක වන්නේ නම්, ගගනගාමීන් සඳ දෙසට ගමන් කරනු ඇත.

ගමනට දින හතරක් පමණ ගත වන අතර, කාර්ය මණ්ඩලය සඳෙහි ඈත පැත්ත වටා ගමන් කරනු ඇත.

එය පෘථිවියේ සිට අපට කිසිදා නොපෙනෙන පැත්තයි.

ඔවුන් චන්ද්‍ර මතුපිටට කිලෝමීටර් 6,500-9,500 දුරින් සිටින අතර, සඳ අධ්‍යයනය කිරීමට සහ රූප ගැනීමට පැය කිහිපයක් කැප කරනු ඇත.

පියාසර කිරීමෙන් පසු, ගගනගාමීන් ඔවුන්ගේ නිවසට පැමිණීමේ දින හතරේ ගමන ආරම්භ කරනු ඇත.

ඔවුන් පැසිෆික් සාගරය වෙත පැනීමෙන් මෙහෙයුම අවසන් කරනු ඇත.

මෙහෙයුම සාර්ථක වුවහොත්, ආටිමිස් III සඳහා මෙම මෙහෙයුම මග පාදනු ඇත.

එහිදී ගගනගාමීන් චන්ද්‍ර පෘෂ්ඨයට පා තබනු ඇත.

අවසන් වරට මිනිසුන් සඳ මතට පැමිණියේ 1972 දී ඇපලෝ 17 මෙහෙයුම සඳහා ය.