November 13, 2026

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවත් ගිවිසුමකට එළඹීමට බොහෝ දුරට ඉඩ ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවදුරටත් ගිවිසුමක සිටිමේ අවශ්‍යතාව සහ රටේ විදේශ සංචිත තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව සම්බන්ධයෙන් මෙම වැඩසටහනේදී නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කෙරිණි.

ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, පසුගිය කැබිනට් රැස්වීමේදී එම කමිටුව පත් කළ නමුත් එය මෙතෙක් රැස්වී නොමැති බවයි.

සාර්ථකව අවසන් කළ බවට ඔහු විසින් හඳුන්වනු ලැබූ 17 වැනි IMF වැඩසටහනෙන් ඔබ්බට යාමට රට සූදානම් වන අවස්ථාවක, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය මෙම කමිටුව මගින් තක්සේරු කරනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

“දැන් අපට පැවරී ඇති වගකීම මීට පෙර තිබූ වගකීමට වඩා වෙනස්. මීට පෙර අවධානය යොමු වුණේ ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගැනීමටයි. දැන් අප සූදානම් වන්නේ ඊළඟ පියවර තැබීමටයි,” යනුවෙන් ඔහු පැවසීය.

විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වුවත් නැතත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සමඟ අඛණ්ඩව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත්, වඩාත් සුදුසු ඉදිරි ක්‍රියාමාර්ගය තීරණය කිරීමට පෙර රටේ සුවිශේෂී අවශ්‍යතා පිළිබඳව ඉතා සැලකිල්ලෙන් සොයා බැලිය යුතු බව ඔහු අවධාරණය කළේය.

අදාළ කමිටුව විසින් සිය නිරීක්ෂණ සහ නිර්දේශ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉදිරි ගමන් මග පිළිබඳ අවසන් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබේ.

මෙම කමිටුව පත් කිරීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව තවත් IMF වැඩසටහනකට යාමට ඉඩ ඇති බව දැයි විමසූ විට, ඒ සඳහා හැකියාවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිගත්තේය.

ඒ අනුව, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවත් ගිවිසුමකට එළඹීමේ සම්භාවිතාවක් පවතින බව ඔහු තහවුරු කළේය.