July 1, 2026

පෞරාණික වටිනාකමකින් යුත් සෙම්බුවක්, මැණික් ගල් දෙකක් සහ තවත් පෞරාණික පාෂාණ කිහිපයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ත්‍රිකුණාමලය, පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටළීම සිදුකර ඇත්තේ පසුගිය 29 වැනිදා ශ්‍රීපුර පොලිස් වසමට අයත් ජයන්ති වැව ප්‍රදේශයේදීය.

ලද තොරතුරකට අනුව ජයන්ති වැව ප්‍රදේශයේ පිහිටි සැකකටයුතු නිවසක් පරීක්ෂා කිරීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කර ඇත.

එහිදී නිවසේ තිබූ ජල ටැංකියක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස බහා සඟවා තිබූ මෙම පෞරාණික භාණ්ඩ තොගය සොයා ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී ඔහු අපූරු ප්‍රකාශයක් කර තිබේ.

තමා පදිංචි ගෙවත්තේ වැසිකිළි වළක් කැපීමට කටයුතු කළ අවස්ථාවකදී, මීට මාස කිහිපයකට පෙර මෙම භාණ්ඩ තමන්ට හමු වූ බව ඔහු පොලිසිය හමුවේ පවසා ඇත.

දැනට සැකකරු සහ සොයාගත් පෞරාණික භාණ්ඩ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී පුර පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

පොලිස් පරීක්ෂණවලින් අනතුරුව අදාළ පෞරාණික භාණ්ඩවල නියම වටිනාකම තක්සේරු කිරීමට නියමිත අතර, සැකකරු කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.