February 12, 2024

සිය යතුරු පැදියේ මාලු විකිණීමට භාවිතා කරන පෙට්ටියක් බැද ගෙන මාළු විකුණන මුවාවෙන් මීගමුව සහ කටාන ප්‍රදේශ වල කසිප්පු විකුණූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමක් සහිත කසිප්පු තොගයක් ද සමග අද (12) උදෑසන කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු හීනටියන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි .

මොහු වසර ගණනාවක සිට මෙම ජාවාරම කර ගෙන යන බවට කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ තොරතුරු ලැබී තිබිණි .

ඒ අනුව සති ගණනාවක් කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් මොහු පිළිබඳව, සැගවී තොරතුරු රැස්කර, අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කර ඇති අතර, මෙම පුද්ගලයා ද දවසින් දවස වේලාව සහ ඔහු ගමන් ගන්නා මාර්ග වෙනස් කරමින් මෙම ජාවාරම කර ගෙන ගොස් තිබිණි .

මොහු අත් ඩංගුවට ගන්නා අවස්ථාවේ එම යතුරු පැදිය තුළ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 75,000 ක ප්‍රමාණයක් තිබී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර, මොහුගෙන් මෙම කසිප්පු මිළදී ගන්නා පුද්ගලයන් මෙම කසිප්පු ස්ප්‍රීතු වෙත තවදුරටත් ජලය එක්කර මෙම කසිප්පු ප්‍රමාණය තුන් ගුණයක් දක්වා වැඩි කර ගන්නා බව පොලිසිය සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ. (දිනමිණ)