May 16, 2024

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම භාවිතයෙන් ඉවත්කර ඇති නළ පද්ධතියක් යොදා ගනිමින් කළ ඉන්ධන ගොඩ බෑමකදී ඉන්ධන කාන්දුවක් සිදුව ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් සිදුව ඇති පාඩුව සහ එවැනි කාන්දුවක් සිදු නොවූ බව පෙන්වීම සඳහා සමාගමේ ඇතැම් නිලධාරීන් වංචනික ක්‍රියා සිදුකර ඇති බව ද වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකළ එහි නිලධාරින් අප වෙත සඳහන් කළේ මෙවැන්නකි

“Hafnia Henrette නැවෙන් 2024/5/10 ගොඩබෑම ආරම්භ කරලා 2024/5/13 අවසන් කරා. ගුවන්යානා තෙල් ගොඩබෑමට පෙර කොලොන්නාව ගබඩා සංකීර්ණයේ ස්වාධීන මිනුම්කරුවෙක් ඉදිරියේ මෙම ගුවන් යනා තෙල් ගොඩ බාන ටැංකිය ධාරිතාව මිනුම්කරණය කිරීම සිදුකරනවා. මෙම මිනුම්කරණය සිදුකරන අවස්ථාවේ හෝ ඊට පෙර ගබඩා කිරීමට නියමිත ටැංකියේ තිබ්බ කාර්මික භූමි තෙල් මීට වසර හය හතකට පෙර අතහැර දමන ලද නල පද්ධතියක් හරහා කාන්දු වීමක් වෙලා තියෙනවා මොකද මෙම තෙල් නලය එම ටැංකිය ඉන්ධන ගබඩා කිරීමට ඉන්ධන බැහැර කිරීමට භාවිතය අතහැරපු නළපද්ධතියක්. කොහොම නමුත් එම නල පද්ධතිය ඔස්සේ ඉන්ධන බැහැර කිරීම හේතුවෙන් පිට් වලවල්වලට ඉන්ධන ගිහිල්ලා ඉන්ධන කාන්දු වීමක් වෙලා තියෙනවා මේ වෙනකොට. ගුවන්යානා තෙල් ආනයනය කරලා ගොඩබෑම් කරපු නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම් කරන ලද ගුවන් යානා තෙලුත් මෙම පද්ධතිය ඔස්සේම මේ ටැංකියෙන් ගලා ගිහිල්ලා තියෙනවා. වාර්තා වෙන අන්දමට කාර්මික භූමි තෙල් ලීටර් 35000ක් පමණ ගුවන්යානා තෙල් ලීටර් 25000ක් පමණ මේ අකාර්යක්ෂම ක්‍රියාවලිය නිසා බැහැරවීමක් වෙලා තියෙනවා. දිගින් දිගටම මතු කරපු කාරණයක් තමයි මෙම ඉන්ධන තොගවල තොග ගණනය කිරීම්වලදී හෝ ,තොග ගොඩබැම්වලදී හෝ සිදුවන දූෂිත ක්‍රියාවලියක්. මෙය ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ දීර්ඝ වශයෙන් සිද්ධ වෙනවා. මෙම ඉන්ධන ගොඩබෑම් සහ ඉන්ධන ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණයන් පවසන්නේ මෙවැනි ගොඩබෑම් අවස්ථාවකදී මෙවැනි තත්ත්වයකදී මීට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් අපතේ යෑමක් සිදුවනු ඇති බවයි. මීට මාස කීපයකට ඉහතදී මේ කොළොන්නාව 18 ටැංකියේ විශාල ඉන්ධන අපතේ යෑමක් සිද්ධ වුණා ලීටර් 125000ක පමණ වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. ඉංජිනේරුවරුන් දුන්න වාර්තාවලට ඔබ්බට ගිහිල්ලා වැඩි ධාරිතාවක් ගබඩා කිරීම හේතුවෙන් තමයි එම අවස්ථාවේ ඉන්ධන කාන්දු වීමක් සිද්ධ වුණේ. මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් කරපු විමර්ශන වාර්තාවක් කමිටුවක් දාලා හදලා තියෙනවා ඉන්ධන බැහැරවීමක් සිද්ධ වුණේ නැහැ කියලා .බැහැර වෙච්ච ඉන්ධන ප්‍රමාණය වාර්ෂික තොග ගණනය කිරීම්වලින් බැලන්ස් කරල තමයි හදල තියෙන්නේ.මෙම දූෂිත නිලධාරීන් කණ්ඩායම තමයි මේ වංචාවම වහන්නේ.”

“ඒ වගේම 2018 වසරෙත් 31 ටැංකියේ ඉන්ධන බැහැරවීමක් සිදුවුණා. මේ ඉන්ධන තොග වෙනස් කිරීම් සහ ඉන්ධන කාන්දුවීම් සම්බන්ධයෙන් වන වාර්තාවල්වලදී පද්ධතිය හරහා ඉන්ධන තොග ගණනය කිරීම් සමාන කරලා පූර්ණ කාලීන වංචාවක් සිද්ධ වෙනවා කියන එක දැන් මේකෙන් පැහැදිලි වෙනවා.මේක කරන්නේ තොග චලන තොග නිෂ්පාදන අංශයේ කළමනාකාරවරයා. දෛනික සහ මාසික වාර්ෂික තොග ගණනය කිරීම් මෙම නිලධාරියාට සම්බන්ධ විධායක නිලධාරිණියක් විධායක නිලධාරීවරයෙක් පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් කරන නිලධාරීන් පිරිසක් සමග එක්ව මෙසේ තොග ගණනය කිරීම් වංචනිකව ව්‍යාජ අයුරින් දත්ත පද්ධති එකතු කරමින් සතිපතා පැවැත්වෙන තොග සමාලෝචන රැස්වීමේදී වැරදි මුලාශ්‍ර දත්ත එකතු කරගනිමින් මෙම වංචනික ක්‍රියාව දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරනවා. මේවායින් වෙච්ච පාඩුව රටේ මහජනතාවගේ සල්ලි.ඒ හින්දා මම විෂය භාර ඇමැතිගෙන් කරුණාකරලා ඉල්ලා සිටිනවා මේ පිළිබඳව අමාත්‍යාංශය මට්ටමින් ස්වාධීන පරීක්ෂණයක් කරන්න.”