September 5, 2026

පාස්කු ඉරිදා ෂැංග්‍රිලා හෝටලයේදී බෝම්බය පුපුරුවාගත් දෙවැනි සැකකාර ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්ගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් දේපළ මුදාහරින ලෙස කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ නිවසේ තිබී පොලිස් භාරයට ගත් රන් භාණ්ඩ සහ මැණික් ඇතුළු දේපළ තමාට අයත් බව පවසමින් ඉජ්ජාල් අහමඩ් නමැත්තා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් මෙම ඉල්ලීම සිදුකර තිබිණි.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා, මොහොමඩ් මර්සුක් අයතුල්ලා සහ මොහොමඩ් ඉල්මි යන අයට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොහම්මදු මෂ්නුක් මොහොම්මදු රිලා, මොහොමඩ් මුෆායිල් සහ මොහොමඩ් අයතුල්ලා යන අය ඇප මත මුදාහැර තිබේ.

මෙම නඩුවේ හතරවැනි සැකකරු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී ඇත.