June 29, 2026

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් තමන් නොමැතිව (අභියෝගයට ලක්කරමින්) මරණ දණ්ඩනය නියම කර මාස කිහිපයකට පසු, බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය වන ෂීක් හසීනා ‘මෙම වසරේදී’ නැවත සිය රට බලා පැමිණෙන බවට සපථ කර තිබේ. ඉකුත් ඉරිදා (ජූනි 28) පළ වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශ කර ඇත.

78 වැනි වියේ පසුවන හසීනා, වසර 15ක් පුරා පැවැති ඇයගේ දැඩි පාලනය අවසන් කරමින් සිසුන් ප්‍රමුඛ කරගත් මහජන නැගිටීමක් හමුවේ 2024 අගෝස්තු මාසයේදී අසල්වැසි ඉන්දියාවට පළාගියාය. ඉන් අනතුරුව, පසුගිය ජනවාරි මාසයේදී නව දිල්ලි ප්‍රෙස් ක්ලබ් වෙත විකාශය කරන ලද දුර්ලභ දේශනයකට හැරෙන්නට ඇය ප්‍රසිද්ධියේ පෙනීසිට නැත.

ඉන්දීය රූපවාහිනී නාලිකාවක් වන NDTV සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී හසීනා කියා සිටියේ තමන් මරණයට බිය නොවන බවත්, තමන්ට එරෙහිව ලබා දී ඇති නඩු තීන්දුව “නීතිවිරෝධී, ව්‍යවස්ථා විරෝධී සහ දේශපාලනික අරමුණු සහිත ක්‍රියාවලියක කොටසක්” බවත්ය.

“මට විරුද්ධව කුමන්ත්‍රණ රාශියක් දියත්වුණා. නමුත් ඒ සෑම කුමන්ත්‍රණ දැලක්ම බිඳ දමමින්… මම ජනතා ඡන්දයෙන් පස්වතාවක්ම අගමැති ලෙස තේරී පත්වුණා. රටේ පෙර නොවූ විරූ සංවර්ධනයක් වෙනුවෙන් වැඩකළා,” යැයි හසීනා පැවසුවාය.

ඇයට එරෙහිව පනවා ඇති මරණ දණ්ඩන තීන්දුව මධ්‍යයේ වුවද ඇය නැවත සිය රට බලා පැමිණෙන්නේද යන්න පිළිබඳව විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ, “මට පැහැදිලිවම කියන්න අවශ්‍යයි, සෑම බාධකයක්ම සහ සෑම කුමන්ත්‍රණයක්ම පරාජය කරමින් මම මේ වසරේ මගේ රටට ආපසු යනවා” යනුවෙනි.

පසුගිය නොවැම්බර් මාසයේදී, ඩකා අධිකරණයක් විසින් ඝාතන සඳහා පෙළඹවීම්, ඝාතන නියෝග නිකුත් කිරීම සහ සාහසික ක්‍රියා වැළැක්වීමට පියවර නොගැනීම යන චෝදනාවලට හසීනා වැරදිකරු කරමින් ඇයව එල්ලා මැරීමට නියෝග කළේය. මේ වනවිට ඇයගේ හිටපු පාලක පක්ෂය වන, කලක් රටේ වඩාත්ම ජනප්‍රිය පක්ෂයක් වූ ‘අවාමි ලීගය’ තහනම් කර ඇත.

මිලියන 170ක ජනගහනයක් වෙසෙන මෙම දකුණු ආසියාතික රට තුළ පසුගිය පෙබරවාරි මාසයේ පැවැති මැතිවරණයෙන් අගමැති තාරික් රහ්මාන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් පසු ඉන්දියාව සහ බංග්ලාදේශය අතර සබඳතා යම් ප්‍රමාණයකට යහපත් වී තිබේ.

කෙසේවෙතත්, බංග්ලාදේශය විසින් ෂීක් හසීනාව පිටුවහල් කරන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටීම හේතුවෙන් දෙරට අතර තවමත් යම් රාජ්‍යතාන්ත්‍රික නොසන්සුන්තාවක් පවතී.