June 4, 2026

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ අතර හමුවක් පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී විශේෂයෙන්ම මෙම හමුව සත්‍යන්ජල් පාණ්ඩේ ශ්‍රී ලංකාවේ සිය තෙවසරක ධුර කාලය අවසන් කර මෙරටින් පිටව යෑමට පෙර සිදුවූ අවසන් හමුවීම ලෙස සටහන් විය.

එහිදී ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සබඳතාවය ශක්තිමත් කිරීම උදෙසා පසුගිය කාලය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර, නියෝජ්‍ය මහකොමසාරිස් ලෙස සත්‍යන්ජල් පාණ්ඩේ විසින් දක්වන ලද මිත්‍රශීලී දායකත්වය අගය කිරීමද සිදුකර ඇත.

එසේම දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීමේදී ඉන්දියාව දැක්වූ දායකත්වයට සහ එහිදී නියෝජ්‍ය මහකොමසාරිස්වරයා විසින් ලබදුන් දායකත්වය මෙහිදී ටිල්වින් සිල්වා විසින් ඇගයීමට ලක්කර තිබේ.

තමා 2023 වර්ෂයේ අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ හමුවීමට ඉතා ඉක්මනින් අවස්ථාව සැලසීම පිළිබඳවත් එතැන් පටන් පවත්වාගෙන ගිය ඉතා මිත්‍රශීලී සබඳතාවය පිළිබඳවත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ විසින් මෙම සාකච්ඡාවේදී සිහිපත් කර ඇත.