May 15, 2026

සිය චීන සංචාරය අවසන් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද බීජිං නුවරින් අමෙරිකාව බලා පිටත්ව ගියේය.

ඒ, ඉරානය සහ තායිවානයේ සිට වෙළඳාම, තෙල් සහ බෝයිං සමාගම දක්වා වූ පුළුල් පරාසයක කරුණු ඇතුළත් චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවැති දෙදින සාකච්ඡාවලින් අනතුරුවයි.

උත්කර්ෂවත් අයුරින් මහජන ඔල්වරසන් මධ්‍යයේ පැවැත්වුණු රාජ්‍ය නායකයින් දෙදෙනා අතර සමුළුව රාජ්‍ය භෝජන සංග්‍රහයකින් ද සමන්විත වූ අතර ඉන්පසු දෙපාර්ශ්වයේම ප්‍රකාශ ද ප්‍රසිද්ධ කෙරිණි.

චීන රාජ්‍ය මාධ්‍යවලට අනුව ෂී ජින්පින් ප්‍රකාශ කළේ, ඉදිරි වසර තුන සඳහා වන රාමුවක් ලෙස උපායමාර්ගික ස්ථාවරත්වය පවත්වා ගැනීමට ඇමරිකාව සහ චීනය එකඟ වූ බවයි.

මේ අතර ෆොක්ස් නිව්ස් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් පැවසුවේ ඇමරිකානු තෙල් මිලදී ගැනීමට චීනය එකඟ වී ඇති බව සහ බෝයිං සමාගමෙන් මගී ගුවන් යානා 200ක් මිලදී ගන්නා බවත්ය.

ඇමරිකානු ව්‍යවසාය ආයතනයේ පර්යේෂකයෙකු වන රයන් ෆෙඩාසියුක් පවසන පරිදි මෙම සමුළුවේ ප්‍රතිඵල පිළිබඳ මතු වන ප්‍රධාන ප්‍රශ්නය වනුයේ ජනාධිපතිවරයා ඇති කර ගැනීමට කැමති ගිවිසුම්වලින් සාර්ථක කර ගැනීමට තරම් පරිණත මට්ටමක පවතින්නේ කුමන ගිවිසුම්ද යන්නයි.

“ඇත්තම කිව්වොත්, තවදුරටත් සාකච්ඡා කර තීරණ ගත යුතු බොහෝ දේ ඉතිරිව පවතිනවා.” යනුවෙන් ඔහු පැහැදිළි කළේය.

මේ අතර එළඹෙන සැප්තැම්බර් 24 වැනිදා ධවල මන්දිරයේ සංචාරයක නිරත වන ලෙස ට්‍රම්ප් ෂී ජින්පින් හට නිල ආරාධනයක් සිදු කර තිබේ.

ඉන් පෙන්නුම් කරන්නේ වෙළඳ සාකච්ඡා මෙම සතියෙන් ඔබ්බට ද ගලා යනු ඇති බවයි.

ධවල මන්දිරය විසින් බෙදාගත් වීඩියෝවකට අනුව, ට්‍රම්ප් මෙම ආරාධනය නිවේදනය කළේ බ්‍රහස්පතින්දා සවස පැවැති රාජ්‍ය භෝජන සංග්‍රහයේදීය.

වොෂින්ටන් ඩී.සී. හිදී ට්‍රම්ප් සමඟ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ට්‍රම්ප් චීන ජනාධිපතිවරයාට සිදු කළ ආරාධනය චීන රාජ්‍ය මාධ්‍ය සිකුරාදා දින වාර්තා කළද, ෂී ජින්පින් එම ආරාධනය පිළිගන්නේද යන්න චීනය තවමත් නිල වශයෙන් තහවුරු කර නැත.

නොවැම්බර් මාසයේ ෂෙන්සෙන් හි පැවැත්වෙන APEC සමුළුවේදී සහ දෙසැම්බර් මාසයේ ෆ්ලොරිඩාවේ පැවැත්වෙන ජී20 සමුළුවේදී ද නායකයන් දෙපළ හමුවීමට ඉඩ කඩ පවතී.

“අනාගතය දෙස බලන විට, දැන් අපගේ අවධානය යොමු වන්නේ සැප්තැම්බර් 24 වැනිදා ජනාධිපති ෂී ඇමරිකාවේ සිදු කිරීමට නියමිත සංචාරය වෙතයි,” යනුවෙන් චීන රජයට අනුබද්ධ පර්යේෂණ ආයතනයක් වන චීන සමාජ විද්‍යා ඇකඩමියේ ජාත්‍යන්තර දේශපාලන අධ්‍යයන අධ්‍යක්ෂ හායි ෂාඕ පැවසීය.

“මෙය අනිවාර්යයෙන්ම රාජ්‍ය සංචාරයක් වනු ඇත, මන්ද එය සාධාරණයි. මෙය ජනාධිපති ට්‍රම්ප් චීනයේ කළ නිල රාජ්‍ය සංචාරයට ප්‍රතිචාර වශයෙන් සිදු කරන සංචාරයක්,” යැයි පැවසූ ෂාඕ, වොෂින්ටන් ඩී.සී. වෙත යාමට පෙර ෂී ජින්පින් නිව්යෝර්ක් වෙත යාමට ද ඉඩ ඇති බව සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සැප්තැම්බර් මස මුලදී නිව්යෝර්ක් නුවර පැවැත්වීමට නියමිතව ඇත.