May 15, 2026

දේශසීමාව හරහා එරට ගුවන් සීමාවට ඇතුළු වූ, යුක්රේනයට අයත් බවට සැකකෙරෙන ඩ්‍රෝන යානා සම්බන්ධ සිදුවීම හැසිරවූ ආකාරය පිළිබඳව තම රජයට එල්ල වූ දැඩි විවේචන හමුවේ ලැට්වියා අග්‍රාමාත්‍ය එලිනා සිලිනා ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

මෙම මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් පාලක සන්ධානය තුළ පැවැති බෙදීම් තවදුරටත් ගැඹුරු වූ අතර, අවසානයේදී රජයට පාර්ලිමේන්තුවේ පැවැති බහුතර බලය ද අහිමි වීමට එය හේතු විය.

විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ ලැට්වියාවේ මධ්‍ය-දකුණු පාලක පක්ෂයේ අග්‍රාමාත්‍ය එලිනා සිලිනා බ්‍රහස්පතින්දා දින ධුරයෙන් ඉල්ලා අස්වූයේ, ඇයගේ වාමාංශික සන්ධාන හවුල්කරුවා වූ ප්‍රගතිශීලී පක්ෂය රජයට දක්වන සහයෝගය ඉල්ලා අස්කර ගැනීමෙන් සහ ඇයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි කිරීමෙන් පසුව බවය.

ඇයගේ මෙම ඉල්ලා අස්වීම සිදුවූයේ, යුක්රේනයට අයත් බවට සැකකෙරෙන ඩ්‍රෝන යානා කිහිපයක් ලැට්වියානු දේශසීමාවට ඇතුළු වීමේ සිදුවීම් රජය විසින් හැසිරවූ ආකාරය හේතුවෙන් ප්‍රගතිශීලී පක්ෂයේ සාමාජිකයෙකු වූ ආරක්ෂක අමාත්‍ය ඇන්ඩ්‍රිස් ස්පෘඩ්ස්ට පසුගිය සතියේ ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවීමෙන් අනතුරුවයි.

එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය සිලිනා ප්‍රකාශ කළේ ස්පෘඩ්ස් කෙරෙහි ඇය තැබූ විශ්වාසය මෙන්ම මහජන විශ්වාසය ද පළුදු වී ඇති බවයි.

ස්පෘඩ්ස්ගේ ඉල්ලා අස්වීම පිළිබඳව පැහැදිලි කරමින් පසුගිය ඉරිදා අදහස් දැක්වූ සිලිනා කියා සිටියේ, මෙම ඩ්‍රෝන සිදුවීම් මඟින් රටේ ගුවන් සීමාව සුරක්ෂිත කරන බවට ආරක්ෂක අංශයේ දේශපාලන නායකත්වය දුන් පොරොන්දුව ඉටු කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බව මැනවින් පෙන්නුම් කරන බවයි.

මැයි 7 වැනිදා, යුක්රේනයට අයත් බවට සැකකෙරෙන ඩ්‍රෝන යානා දෙකක් ලැට්වියාවට ඇතුළු වූ අතර, ඉන් එකක් ඉන්ධන ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක් මතට කඩා වැටුණි.

එහිදී අමාත්‍ය ස්පෘඩ්ස් ප්‍රකාශ කළේ ඒවා රුසියාව ඉලක්ක කර ගනිමින් දියත් කළ යුක්රේන ඩ්‍රෝන යානා වීමට ඉඩ ඇති බවත්, වැරදීමකින් ලැට්වියාවට ඇතුළු වී ඇති බවත්ය.

රුසියාව බලා පියාසර කළ යුක්රේන ඩ්‍රෝන යානා කිහිපයක්ම පසුගිය මාර්තු මාසයේ සිට බෝල්ටික් කලාපයේ රටවල් තුනේ දේශසීමාවලට කඩා වැටී ඇත.

විචාරකයින් පවසන්නේ මෙම සිදුවීම් මඟින් මිලිටරි තර්ජනවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ලැට්වියාව සතු හැකියාවේ පවතින දුර්වලතා මැනවින් පෙන්නුම් කරන බවයි.