May 14, 2026

ලොවම බලා සිටි ජාත්‍යන්තරයේ මහා බලවතුන් වන අමෙරිකානු – චීන නායකයින්ගේ ඓතිහාසික හමුව අද සිදුවිය.

ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තෙදින චීන සංචාරයට සමගාමීවයි.

චීන මහජන මහා ශාලාවේදී පැවැති නායකයින් දෙපළගේ නිල සාකච්ඡා වටයට පෙර අමෙරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන්ම සූදානම් කරන ලද නිල පිළිගැනීමේ උත්සවයක් එම ශාලාවේ බාහිර පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී අමෙරිකානු නායකයා වෙනුවෙන් රතු පලස සූදානම් කර තිබූ අතර චීන හමුදාවේ ගෞරව ආචාරය සහ චීන දරුවන්ගේ ඔල්වරසන් මධ්‍යයේ චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහජන මහා ශාලාව සඳහා කැඳවා ගෙන පැමිණියේය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින්ව ‘ශ්‍රේෂ්ඨ නායකයෙක්’ ලෙස හැඳින්වූ අතර, නායකයන් දෙපළ බීජිං නුවරදී අතිශය වැදගත් සමුළුවක් ආරම්භ කරමින් දෙරට අතර විශිෂ්ට අනාගතයක් පිළිබඳව අදහස් දැක්වීය.

ද්විපාර්ශ්වික සාකච්ඡාවලට පෙර සිය ආරම්භක දේශනයේදී ට්‍රම්ප් පැවසුවේ චීන ජනාධිපතිවරයා හමුවීම සහ ඔහුව තමාගේ මිතුරෙකු ලෙස හැඳින්වීම ගෞරවයක් බවයි.

කෙසේවෙතත් විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ ජනාධිපතිවරුන් වන ෂී සහ ට්‍රම්ප් බීජිං නුවරදී ඇමරිකා-චීන සමුළුවක් සඳහා හමුවුව ද එහිදී ඉරාන යුද්ධය, වෙළඳාම, තාක්ෂණය සහ තායිවානය වැනි දෙපාර්ශ්වය අතර බෙදීම් ඇති කර තිබෙන ගැටලු සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් අපේක්ෂා නොකරන බවයි.

“අපි හොඳින් කටයුතු කර තිබෙනවා. යම් අපහසුතා මතු වූ විට අපි ඒවා විසඳා ගත්තා. මම ඔබට ඇමතුම් ලබා දුන්නා, ඔබ මට ඇමතුම් ලබා දුන්නා. මිනිසුන් දන්නේ නැහැ, අපට යම් ප්‍රශ්නයක් මතු වූ සෑම අවස්ථාවකදීම අපි ඒවා ඉතා ඉක්මනින් විසඳා ගත් බව,” යනුවෙන් චීන ජනාධිපතිවරයා හමුවේ ට්‍රම්ප් පැවසීය.

“ඔබ ශ්‍රේෂ්ඨ නායකයෙක්, සමහර වෙලාවට මම ඒක කියනවාට මිනිසුන් කැමති නැහැ, නමුත් මම කොහොමත් ඒක කියනවා, මොකද ඒක ඇත්තක්. ඔබ සමඟ සිටීමට ලැබීම ගෞරවයක්; ඔබේ මිතුරා වීමට ලැබීම ගෞරවයක්. අපි එක්ව විශිෂ්ට අනාගතයක් ගොඩනඟා ගන්නවා.” යනුවෙන් ද ට්‍රම්ප් එහිදී සිය සතුට ප්‍රකාශ කර තිබිණි.

මෙම සංචාරය සඳහා තමන් ලොව හොඳම ව්‍යාපාරික නායකයින් තමන් සමඟ රැගෙන ආ බව ඇමරිකානු ජනාධිපතිවරයා පැවසීය.

“ඔබට ගෞරව දැක්වීම සඳහා අද මෙහි සිටින්නේ ඉහළම පෙළේ පුද්ගලයන් පමණයි,” යනුවෙන් ඔහු එහිදී චීන ජනාධිපතිවරයා හමුවේ පැවසුවේය.

එන්වීඩියා (Nvidia) සමාගමේ ජෙන්සන් හුවාන්ග් සහ ටෙස්ලා සමාගමේ ඉලොන් මස්ක් ඇතුළු ඇමරිකාවේ ඉහළම පෙළේ ප්‍රධාන විධායක නිලධාරීන් පිරිසක් ට්‍රම්ප් සමඟ මෙම දෙදින සමුළුවට එක්ව සිටිති.

ට්‍රම්ප් බලාපොරොත්තු වන්නේ චීනය විසින් වැඩි වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සහ මගී ගුවන් යානා මිලදී ගැනීමේ වෙළඳ ගිවිසුම් කෙරෙහි සාකච්ඡා යොමු කිරීමටයි.

එමෙන්ම, පසුගිය වසරේ ඔහු විසින් බදු පැනවීමෙන් පසු ඇති වූ වෙළඳ යුද්ධය නැවත ඇතිවීම වළක්වා ගැනීමට සහ දෙරට අතර පවතින මතභේද විසඳා ගැනීම සඳහා මණ්ඩලයක් පිහිටුවීමට ද ඔහු අපේක්ෂා කරයි.

ඇතැම් පිරිස් මෙය “මෙතෙක් පැවැති විශාලතම සමුළුව” ලෙස හඳුන්වා ඇති බවත්, ඔවුන්ගේ සාකච්ඡා පිළිබඳව තමන් “ඉතාමත්” බලාපොරොත්තු සහිතව පසුවන බවත් ඇමරිකානු නායකයා වැඩිදුරටත් පැවසීය.

චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ වසර ගණනාවක් තිස්සේ පවතින සිය සබඳතාවයේ අතීතයේ මතු වූ ගැටලු පිළිබඳව ද ට්‍රම්ප් මෙහිදී කෙටියෙන් සිහිපත් කළේය.

වෙළඳ යුද්ධ දෙකක්, තායිවානය සඳහා ඇමරිකාව දක්වන සහයෝගය හේතුවෙන් ඇති වූ නොසන්සුන්තා සහ fentanyl ඖෂධය නිෂ්පාදනය කිරීමට ගන්නා රසායනික ද්‍රව්‍ය චීනයෙන් ගලා ඒම සම්බන්ධයෙන් ට්‍රම්ප් දක්වන නොඉවසිලිමත්භාවය ඊට ඇතුළත් වේ.

කෙසේ වෙතත් ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඔවුන් අතර පවතින මතභේද පිළිබඳව ඔහු කිසිදු සඳහන් කිරීමක් සිදු නොකළේය.

මේ අතර චීන රාජ්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව බීජිං පාලනය තමන්ට අයිතිවාසිකම් කියන, ස්වයං පාලනයක් සහිත තායිවාන අර්බුදය වැරදි ලෙස හසුරුවනු ලැබුවහොත් ලොව විශාලතම ආර්ථිකයන් දෙක ගැටුමකට එළැඹිය හැකි බව චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත අනතුරු අඟවා ඇත.

ට්‍රම්ප් සමඟ පැවැති ද්විපාර්ශ්වික සමුළුව අතරතුර අදහස් දක්වමින් ෂී ජින්පින්, තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය පිළිබඳ කරුණ චීන-ඇමරිකානු සබඳතාවල පවතින වඩාත්ම වැදගත් කරුණ ලෙස හඳුන්වා දී තිබේ.

කෙසේ වෙතත්, ෂී ජින්පින් වඩාත් දැඩි ස්වරූපයකින් අදහස් දක්වමින් කියා සිටියේ දෙපාර්ශ්වය ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතු බවයි.

එමෙන්ම ඔහු සාකච්ඡාව ආරම්භයේදීම තායිවාන අර්බුදය ඉස්මතු කිරීමට පියවර ගත්තේය.රාජ්‍ය විකාශන ආයතනයක් වන CCTV වෙතින් වාර්තා වූ පරිදි ෂී ජින්පින් පැවසුවේ, තායිවාන ප්‍රශ්නය චීන-ඇමරිකානු සබඳතාවල පවතින වඩාත්ම වැදගත් කරුණක් බවයි.

එය නිවැරදිව හසුරුවනු ලැබුවහොත්, ද්විපාර්ශ්වික සබඳතා පොදුවේ ස්ථාවරව පවත්වා ගත හැකි බව ද චීන ජනාධිපතිවරා පවසා ඇත.

ෂී ජින්පින්ගේ මෙම රහසිගත අනතුරු ඇඟවීම නිකුත් වූයේ, ඇමරිකා එක්සත් ජනපදය දූපත සඳහා වන සිය පැහැදිලි සහ ස්ථාවර සහයෝගය නැවතත් තහවුරු කර ඇති බව තායිවානය ප්‍රකාශ කර තිබූ පසුබිමක ය.

චීන නායකයා වැඩිදුරටත් කියා සිටියේ තායිවානයේ ඊනියා නිදහස, තායිවාන සමුද්‍ර සන්ධියේ පවතින සාමය සමඟ කිසිසේත්ම නොගැළපෙන බවයි.