December 21, 2025

බරපතළ නායයෑමට ලක් වූ ප්‍රදේශ අවට ඉරි තැළීම් හා පැල්මට ලක්ව ඇති කඳු බෑවුම් නිරීක්ෂණයට මේ වන විට විදේශ විශේෂඥ භූ-විද්‍යාඥයන් කණ්ඩායම් තුනක් පැමිණ ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘මව්බිම’ට නවරණය කර ඇත.

එම වාර්තාවට අනුව ඉතාලිය, ප්‍රංශය හා චීනය යන රටවලින් මෙම භූ විද්‍යාඥ කණ්ඩායම් මෙරටට පැමිණ ඇත.

ඒ අනුව, ආපදා තත්ත්වයත් සමග නායයෑමට ලක් වූ ස්ථානවල බෑවුම් ප්‍රදේශවල නායයෑම් පෙර සලකුණු වශයෙන් පැල්මට, ඉරිතැළීමකට ලක්ව ඇති ප්‍රදේශ ඩ්‍රෝන තාක්ෂණය යොදා ගෙන මූලික අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබේ.

මෙම අධ්‍යයන කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු දේශීය විශේෂඥයන්ගේ සහායෙන් සිදුකෙරේ.

ඉරිතැළීමට, පැළීමට ලක්ව ඇති කඳු බෑවුම්වල සිදුවන හානිය අවම කිරීමට ඉන්ජිනේරු ක්‍රම භාවිත කිරීමේ හැකියාව පිළිබඳව මෙම අධ්‍යයන කටයුතුවලින් සොයාබලන බව අදාළ නිලධාරියා සඳහන් කර තිබේ.

නායයෑමට ලක් වූ හා එහි බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ ඩ්‍රෝන තාක්ෂණයෙන් ඡායාරූපගත කර ඒ ලබාගන්නා ඡායාරූප මගින් අධ්‍යයන කටයුතු සිදුකෙරෙනු ඇත.

විදේශීය විශේෂඥයන්ගේ පරීක්ෂණවලට අමතරව දේශීය භූ විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවන්ගෙන් සමන්විත කණ්ඩායම් ගණනාවක් කරගෙන යන පර්යේෂණ කටයුතු අඛණ්ඩව සිදු වෙමින් පවතින බව ද එම නිලධාරියා සඳහන් කළේ ය.

බරපතළ ගණයේ නායයෑම් සිදුව තිබෙන මහනුවර, මාතලේ, බදුල්ල, නුවරඑළිය, කුරුණෑගල හා සබරගමුව පළාතට අයත් නාය යෑමට හා එම තර්ජනයට ලක් වූ ප්‍රදේශ විදේශ විශේෂඥයන්ගේ නිරීක්ෂණයට බඳුන් කෙරේ.