June 28, 2026

මේ දිනවල රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු මාරයා තවත් වටිනා තරුණ ජීවිතයක් බිලිගෙන තිබෙනවා. මෙවර ඩෙංගු රෝගයට ගොදුරු වී අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබෙන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි 24 හැවිරිදි සඳලි තාරකා නැමැති සිසුවියක්. ඇයගේ අකල් මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණයේදී හෙළි වූ තොරතුරු බොහෝ දෙනෙකුගේ දෑසට කඳුළු උනන සුළුයි.

සඳලි විශ්වවිද්‍යාලයට ආසන්න ලැගුම්හලක (බෝඩිමක) නවාතැන් ගෙන අධ්‍යාපන කටයුතුවල නිරතව සිට තිබෙනවා. පසුගිය ජුනි 16 වැනිදා ඇයට තද උණ වැළඳී ඇති අතර, පසුවදාම (ජුනි 17) ඇයව දෙනියාය රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී සිදු කළ පරීක්ෂණවලින් ඇයට වැළඳී ඇත්තේ ඩෙංගු රෝගය බව හඳුනාගෙන තිබෙනවා.

සඳලි ප්‍රතිකාර ලැබූ දෙනියාය රෝහලේම හෙදියක් ලෙස ඇයගේ 58 හැවිරිදි මව වන හේවා විතානගේ ලසන්ති සේවය කරනවා. අනුන්ගේ ජීවිත සුවපත් කරන්න වෙහෙසෙන ඒ මවට තමන්ගේම දියණියගේ ජීවිතය බේරාගන්න නොහැකි වීම කෙතරම් ඛේදවාචකයක්ද?

දෙනියාය රෝහලේ දින පහක් ප්‍රතිකාර ලැබීමෙන් පසු සඳලිගේ තත්ත්වය උත්සන්න වූ නිසා ඇයව පසුගිය සඳුදා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබුණා. ඒත් වෛද්‍යවරුන්ගේ උත්සාහයන් අපතේ යවමින් පසුදිනම (අඟහරුවාදා) ඇය මෙලොව හැර ගොස් තිබෙනවා.

ඇයගේ මව මරණ පරීක්ෂණයේදී පවසා සිටියේ සඳලි දියණිය 2024 වසරේදී කලා අංශයෙන් උසස් පෙළ ඉහළින්ම සමත්වී මහත් බලාපොරොත්තු ඇතිව රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ බවයි.

රුහුණු වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එනෝකා ප්‍රේමරත්න ප්‍රකාශ කළේ ඩෙංගු රක්තපාත තත්ත්වය හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් කිහිපයක් එකවර අකර්මණ්‍ය වීම මෙම මරණයට හේතුව බවයි.

මෙම හදිසි මරණ පරීක්ෂණය නාගරික හදිසි මරණ පරීක්ෂක බී.ජී.එන්. කරුණාතිලක විසින් පවත්වනු ලැබුවා.

මෙම වසර තුළ පමණක් ලංකාවෙන් ඩෙංගු රෝගීන් 30කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව වාර්තා වනවා.

සරසවි සිසුවියකගේ මෙම අකල් මරණය, විශ්වවිද්‍යාල අවට සහ බෝඩිම් පරිශ්‍රයන්හි පිරිසිදුකම පිළිබඳව මීට වඩා සොයා බැලිය යුතු බවට සමාජයට දෙන තදබල අනතුරු ඇඟවීමක්.