June 6, 2024

2024 දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000ක් දකුණු කොරියාවට යවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් සංජය නල්ලපෙරුම පවසන්නේ, පසුගිය වසරේ 6,500 සිට 7,000 දක්වා පිරිසක් දකුණු කොරියාවට යැවූ අතර මේ වසරේ 10,000 ක් යැවීමට සැලසුම් කර තිබෙන බවයි.

නිෂ්පාදන, ධීවර හා ඉදිකිරීම් කර්මාන්ත සඳහා කම්කරුවන් යොමුකරන බව හෙතෙම පවසයි.

දකුණු කොරියාවේ රැකියාවක් කිරීමට නම්, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කොරියානු භාෂා පරීක්ෂණයකට මුහුණදිය යුතු වේ.

දකුණු කොරියානු විදේශ ඇමැති Lee Jung-Sik පසුගිය වසරේ අගභාගයේදී දිවයිනට පැමිණි අවස්ථාවේදී දකුණු කොරියාවේ ඇඟලුම් සහ රැකවරණ අංශ සඳහා ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ලබාදෙන බව පවසා ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය කාන්තාවන් ‘ගෘහ සේවිකාවන්’ ලෙස විදේශ රටවලට යැවීම ක්‍රමානුකූලව ඉවත් කරන බවත්, ඒ වෙනුවට පුහුණු අංශයේ ශ්‍රමිකයන් වැඩි පිරිසක් යැවීමට සැලසුම් කර ඇති බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර සදහන් කරයි.