August 26, 2023

2030 වනවිට මෙරට සමස්ත විදුලිබල අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය මගින් සපුරාගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීම සදහා වන වැඩපිළිවෙළට සමගාමීව, මහා පරිමාණ පුනර්ජනනීය ව්‍යාපෘති 06ක ප්‍රගතිය අද සමාලෝචනය කර තිබේ.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් මෙන්ම ව්‍යාපෘතිවල පාර්ශවකරුවන් ද එක්ව ඇත.

රජයේ අවසරයන් ලබාගැනීම, ඉඩම් පවරාගැනීම්, සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම්, විදුලිය මිලදීගැනීමේ ගිවිසුම්ගතවීම්, මූල්‍ය අවශ්‍යතාවයන්, ව්‍යපෘති ඉදිකිරීම් කාල රාමුව වැනි කරුණු මෙහිදී සාකච්ඡාවට ගෙන තිබේ.

මෙහිදී ප්‍රගතිය සමාලෝචනය කර ඇති ව්‍යාපෘති වන්නේ,

1) අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් සංවර්ධනය කරන මන්නාරම සහ පූනරින් මෙගාවොට් 500ක සුලං විදුලිබල උත්පාදන ව්‍යාපෘතිය. මෙම ව්‍යපෘතිය 2025 දී වර්ෂයේ ජනවාරි මස අවසන් කිරීමට එම සමාගම එකඟත්වය පළකර ඇත. මෙම කාල රාමුව තුළ ඉදිකිරීම් අවසන් කිරීමට රජයේ අනෙකුත් අවසරයන් සහ විදුලිය මිලදීගැනීමේ ගිවිසුම් මේ වසරේ සැප්තැම්බර් අවසන් වන විට ලබාදිය යුතු වේ. මෙම ව්‍යපෘතියට අවශ්‍ය කිලෝවොල්ට් 400ක සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීමද එම සමාගම විසින් සිදුකරනු ලැබේ.

2) පූනකරි ප්‍රදේශයේ මෙගාවොට් 700ට වැඩි බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතියේ මෙගාවොට් 134ක් සෘජුව ජාතික පද්ධතියට සම්බන්ධය වන අතර බැටරි මතින් විදුලිය ගබඩාකිරීම මගින් මෙගා වොට් 700ක් දක්වා ජාතික පද්ධතියට පහසුකම් සලසාදීමට බලාපොරොත්තු වේ. එය 2024 මාර්තු මස වනවිට ඉදිකිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

3) හම්බන්තොට ප්‍රදේශයේ සංවර්ධනය කරන මෙගාවොට් 150ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතිය, දේශීය ආයෝජනයක් සමූහයක් ලෙස ඉදිකිරීම් සිදු කරන අතර, 2024 වසරේ දෙසැම්බර් වනවිට සම්ප්‍රේෂණ මාර්ග සමග සම්බන්ධ කිරීමට යෝජිතය. එය මෙගාවොට් 300ක් දක්වා උත්පාදනය වැඩිකිරීමට සුදුසු ආයෝජකයන් වෙත සූදානම් කෙරේ.

4) සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය ලක්දනවි සමාගම, වින්ඩ් ෆෝර්ස් සමාගම සහ බ්ලූ සිර්ක්ල් සමාගම ඒකාබද්ධව සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය සමග සංවර්ධනය කෙරන අතර, එය 2025 වසරේ දී අවසන් කෙරේ.

5) සොලාර් ෆෝජ් සමාගම මගින් මඩකළපුව මෙගාවොට් 100ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතිය ද සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය සමග 2025 වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වේ. ඒ සදහා වන අවසරය සහ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් 2023 ඔක්තෝබර් මස වන විට ලබාදිය යුතු වේ.

6) ඉන්දියානු ජාතික තාප බල ආයතනය සහ ලංකා විදුලිබල මණ්ඩල එක්ව ඉදිකරන සාම්පූර් මෙගාවොට් 130ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතියේ අදියර දෙකක් යටතේ අවසන් කරන අතර, සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය සමග පළමු අදියර ලෙස මෙගාවොට් 50ක් 2025 වසරේදී ජාතික පද්ධතියට එක්කෙරේ. මූල්‍ය ආයෝජනය සදහා අවශ්‍ය ණය පහසුකම් AIIB මූල්‍ය ආයතනය මගින් සිදුකෙරේ.