August 4, 2026

නොතීසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනීසිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති, වසන්ත කරන්නාගොඩට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සැකකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නේ, මෙම සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බවයි.

මේ අවස්ථාවේදී සැකකාර වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු, අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට නඩු පැවරීම පිළිබඳව තමන් තොරතුරු දැනගත්තේ සමාජ මාධ්‍ය තුළින් බව පෙන්වාදුන්නේය.

සැකකාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය, සිය සේවාදායකයාට ව්‍යාපාරික සමුළුවකට සහභාගිවීම සඳහා විදේශගතවීමට අවශ්‍යව තිබෙන හෙයින් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා කියාසිටියේ මෙම සැකකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මේ වනවිට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බැවින් ඊට අදාල නියෝග නිකුත්කිරීමට තමන්ට නොහැකි බවයි.

ඉන් අනතුරුව නොතීසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනීසිටින ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩට නියම කෙරිණි.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අවසන් කිරීමටත් මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.

2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ නමැත්තා බඳවාගැනීම සහ එතෙක් පැවැති පටිපාටියට පරිබාහිරව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා යෝෂිත රාජපක්ෂ සහභාගි කරවීමට කටයුතු කරවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට සැකපිට අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.