May 19, 2023

නව අධ්‍යයනයකට අනුව, පසුගිය දශක තුන තුළ ලෝකයේ විශාලතම විල් සහ ජලාශවලින් අඩකට වඩා සංඛ්‍යාවකට සැළකිව යුතු ජල ප්‍රමාණයක් අහිමි වී ඇති අතර, එය බොහෝ දුරට දේශගුණික විපර්යාස සහ අධික ජල පරිභෝජනය හේතුවෙන් සිදුව ඇත.

‘සයන්ස්’ සඟරාවේ පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද අන්තර්ජාතික විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කරන ලද මෙම අධ්‍යයනයට අනුව, දළ වශයෙන් ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් ජීවත් වන්නේ මෙසේ සිඳී යන විලක ද්‍රෝණියේ ය.

ලොව පුරා පැතිරී ඇති විල්, පෘථිවි ග්‍රහලෝකයෙන් 03% ක් පමණ ආවරණය කරෙන අතර, ඒවායේ මතුපිට, පෘථිවියේ පවතින මිරිදිය ජලයෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් රඳවාගෙන සිටී. ඒවා පානීය ජලය, වාරිමාර්ග සහ බලය සඳහා අත්‍යවශ්‍ය ප්‍රභවයන් වන අතර, එම ජලය සතුන් සහ ශාක සඳහා අත්‍යවශ්‍ය වාසස්ථානද සපයයි.

වර්ෂාවේ සහ හිම පතනයේ ස්වාභාවික දේශගුණික විචලනයන්ට ප්‍රතිචාර වශයෙන් විල් ජල මට්ටම් උච්චාවචනය වේ. එහෙත් වර්තමානයේ ඒවා මිනිස් ක්‍රියාවන් නිසා වැඩි වැඩියෙන් පීඩාවට පත්ව ඇත.

ලොව පුරා, වඩාත්ම වැදගත් විල්වල ජල මට්ටම් මේ වන විට තියුනු පහත වැටී තිබෙණු දක්නට ලැබේ. උදාහරණයක් ලෙස නිරිතදිග එක්සත් ජනපදයේ කොලරාඩෝ ගංගාවෙන් නිර්මාණය වන ‘මීඩ් විල’ දැවැන්ත ජාල හිඟයකට මුහුණදී සිටී.

එසේම ආසියාව සහ යුරෝපය අතර කැස්පියන් මුහුද හෙවත් ලොව විශාලතම අභ්‍යන්තර ජල කඳද දේශගුණික විපර්යාස සහ ජල භාවිතය හේතුවෙන් දිගු කලක් තිස්සේ අඩු වෙමින් පවතී. කැස්පියන් මුහුද යනු ලොව විශාලතම අභ්‍යන්තර ජල කඳ වන අතර එය බොහෝ විට ලොව විශාලතම විල හෝ සම්පූර්ණ මුහුදක් ලෙස විස්තර කෙරේ.