August 10, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට අදාළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවැත්වෙන සංවාදයේදී, වර්තමාන අගවිනිසුරුවරයා පෞද්ගලිකව ඉලක්ක කරගනිමින් පහත් අන්දමින් අවලාද නැගීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳව එහි විධායක කමිටු සාමාජික, නීතිඥ ජගත් අබේනායක සිය කණස්සල්ල පළකර තිබේ.

මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය වෙත ලිපියක් යොමුකරමින් ඔහු පෙන්වාදෙන්නේ, සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය, වර්තමාන අගවිනිසුරුවරයාට පමණක් ලබාදෙන සේවා දිගුවක් ලෙස හඟවමින් ඇතැම් දේශපාලනඥයන් සහ සංගමයේම ඇතැම් සාමාජිකයන් මහජනතාව සහ පූජ්‍ය පක්ෂය නොමඟ යවන සුළු ප්‍රචාර සිදුකරන බවයි.

විශේෂයෙන්ම, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් අගවිනිසුරුවරයාට එරෙහිව සිදුකරන පහත් අවලාද හමුවේ නීතිඥ සංගමය දක්වන ‘අරුත් ගැන්විය නොහැකි දැඩි නිෂ්ශබ්දතාව’ හේතුවෙන්, සංගමයද එම ප්‍රකාශ අනුමත කරන්නේදැයි මහජනතාව තුළ සැකයක් මතුවන බව ඔහු සඳහන් කරයි.

තමාට සිදුවන අවලාද හමුවේ ප්‍රතිචාර දැක්වීමට විනිසුරුවරයකුට පවතින නොහැකියාව නිසා, එවැනි අවස්ථාවලදී අදාළ විනිසුරුවරයා සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනීසිටීම නීතිඥ සංගමයේ දීර්ඝ කාලීන සම්ප්‍රදාය බවද ඔහු මතක් කර දෙයි.

යෝජිත සංශෝධනවලට එරෙහිව නීතිඥ සංගමයට පවතින්නේ ප්‍රතිපත්තිමය විවේචනයක් මිස පෞද්ගලික විරෝධයක් නොවන බව පෙන්වාදෙන නීතිඥ අබේනායක, පෞද්ගලික දේශපාලන මතිමතාන්තර සංගමයේ නාමයෙන් ප්‍රකාශ වීම හෝ නිහඬව සිටීම මගින් සංගමයේ ගෞරවයට හානි සිදුවන බව පවසයි. එබැවින් මෙම කරුණ ඉදිරි විධායක කමිටු රැස්වීමේදී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසද ඔහු සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියි.