May 28, 2024

වාහන නොමැතිකම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් තමාට පැමිණිලි කර ඇති බවත් වාහනයක් නොමැති නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරයකු බොහෝ අවස්ථාවල කොළඹට පැමිණෙන්නේ ගිලන් රථයක නැගී බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවැසීය.

මන්ත්‍රීවරයා රෝහල් බලධාරීන්ට කතාකර කොළඹට එන ගිලන් රථයක නැගී පැමිණෙන බව පැවැසූ කතානායකවරයා තවත් මන්ත්‍රීවරුන් පොදු ප්‍රවාහන සේවයෙන් කොළඹට පැමිණෙන බව ද ප්‍රකාශ කළේය.

මේ අතර තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙසට මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම ජනාධිපතිවරයාට මේ සතියේ බාරදෙන බව ද ඔහු සඳහන් කළේය.

තමන්ට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙක් සංදේශයක් බාරදෙමින් කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.

එම ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය දැනටමත් පළ වී ඇත.

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් කෝටි දෙකක් පමණ වටිනා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් මෙයට පෙර හිමිවිය.

එම බලපත්‍රය නිකුත් කිරීම රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් නතර කෙරිණ.

මන්ත්‍රීවරුන්ට අවසන් වරට වාහන බලපත්‍රය දුන්නේ 2015 වර්ෂයේදීය.

ඉදිරි මැතිවරණවලට පෙර තීරුබදු රහිත වාහන බලපත්‍රය නොදුනහොත් තමන් මැතිවරණවලට ඉදිරිපත් නොවන බවට මන්ත්‍රීවරුන් ගණනාවක්ම රජයේ ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

කෙසේවෙතත් සමගි ජන බලවේගය පක්ෂය මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමේ තීරණයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පසුගියදා විරුද්ධත්වය පළකළේය.

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක වාහන ලබාගැනීම සුදුසු නොවන බව එම රැස්වීමේදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල යන අය ඇතුළු පිරිසක් පෙන්වා දී තිබිණ.(ලංකාදීප)