October 7, 2026

2018 වසරේදී පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ගිනිඅවියක් සහ පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් පිරිසකට චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවේ වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය අද වසර 10 බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්‍රමසේකර යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.

එහිදී තමන්ට එල්ල වී තිබූ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව, අබූ හනීෆා මොහොමඩ් මුසිෆ් සහ අමීර් හම්සා මොහොමඩ් හමාස් යන විත්තිකරුවන් දෙදෙනාට මෙලෙස වසර 10 බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිණි.

මීට අමතරව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ විත්තිකරුවන් දෙදෙනා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සහ බන්ධනාගාරගතව ගතකර ඇති කාලය එකී සිරදඬුවම් කාලයෙන් අඩුකිරීමට ද අධිකරණය නියෝග කළේය.

2018 වසරේදී සිදුකරන ලද වැටලීමකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන නයිට්‍රේට් යැයි විශ්වාස කෙරෙන පුපුරන ද්‍රව්‍ය තොගයක්, ජීව පතරොම් 12ක්, ගිනිඅවියක් මෙන්ම නයිට්‍රික් ඇසිඩ් සහ යූරියා තොගයක් ද අදාළ ස්ථානයෙන් සොයා ගෙන තිබිණි.