November 23, 2026

කොළඹ වරායේ පිහිටි තෙල් ගබඩා ටැංකියකින් සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් මුතුවැල්ල වෙරළ තීරය ආසන්නයේ කිලෝමීටර් තුනකට වැඩි වෙරළ තීරයක් දූෂණය වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, නොවැම්බර් 21 වැනි දින අංක 108 දරන JCT තෙල් ටැංකියේ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, එම ටැංකියේ ධාරිතාව ටොන් 1,000 ක් පමණ වන බවත්, සිද්ධිය වන අවස්ථාවේ එය සම්පූර්ණයෙන්ම පිරී තිබූ බවත් වාර්තා වේ.

මෙලෙස කාන්දු වී ඇත්තේ සමුද්‍රීය ගෑස් ඔයිල් (Marine Gas Oil – MGO) වර්ගයේ තෙල් වන අතර, හානියට පත් ජලාපවහන කපාටයක් (drain valve) හරහා මෙම කාන්දුව සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

කාන්දු වූ තෙල් නාගරික අපජල ඇළකට එක්වී, පසුව මුතුවැල්ල වෙරළ තීරයේ පිහිටි පිටාර මාර්ගයක් හරහා මුහුදට ගලාගොස් තිබේ.

බෝට්ටු නැංගුරම්පොළක් ඇතුළුව කිලෝමීටර් තුනකට වැඩි වෙරළ තීරයකට මෙම තෙල් දූෂණයෙන් බලපෑම් එල්ල වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

පෙරවරු 9.30 ට පමණ මේ පිළිබඳව අධිකාරියට දැනුම් දී ඇති අතර, පෙරවරු 10.30 පමණ වන විට තෙල් කාන්දුව නැවැත්වීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වී තිබේ.

කෙසේවෙතත්, ඒ වන විටත් තෙල් ප්‍රමාණයක් ජලාපවහන පද්ධතියට එක්වී මුහුදට ගලාගොස් තිබේ.

මෙම සිදුවීමෙන් අනතුරුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව තෙල් පැතිරීම පාලනය කිරීමේ සහ පිරිසිදු කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.

තෙල් තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා තෙල් බාධක (oil containment booms) යොදවා ඇති අතර, කාන්දු වූ තෙල් එකතුකර ඉවත්කිරීමට කණ්ඩායම් කටයුතු කරමින් සිටී.

පරිසර හානිය අවම කිරීමට සහ බලපෑමට ලක් වූ වෙරළ තීරය යථාතත්ත්වයට පත්කිරීමට බලධාරීන් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින අතර, නොවැම්බර් 22 වැනි දින වන විටත් පිරිසිදු කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසීය.

කාන්දු වූ නිශ්චිත තෙල් ප්‍රමාණය පිළිබඳව අධිකාරිය විසින් මෙතෙක් අනාවරණය කර නොමැත.