September 30, 2026

පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය සොයා ගම්වැදුණු වන අලියකු, හොරොව්පතාන ප්‍රදේශයේ ගෙවත්තක අනවසරයෙන් අටවන ලද විදුලි රැහැන් පද්ධතියකට හසුවී විදුලි සැර වැදීමෙන් මියගොස් ඇත.

ඊයේ (29) පෙරවරුවේ සිදුව ඇති මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් පමණ වයසැති වන අලියෙක් බව වනජීවී නිලධාරීන් විසින් පවසා තිබේ.

නිවසේ ප්‍රධාන විදුලි සැපයුමට සෘජුවම සම්බන්ධ කර මෙම අනවසර විදුලි රැහැන් පද්ධතිය සකසා තිබී ඇත.

පවතින නියඟය හේතුවෙන් වන අලි ජලය සොයා ගම්මාන වෙත පැමිණෙන බව වනජීවී නිලධාරීන් පෙන්වා දී තිබේ.

මෙම අනවසර විදුලි රැහැන් පද්ධතිය ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් සැකපිට 65 හැවිරිදි ගොවියකු හොරොව්පතාන වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.