May 14, 2026

රජය මගින් නිකුත් කරන ලද භික්ෂු හැඳුනුම්පත හිමි, අටමස්ථානාධිපති පල්ලෙගම හේමරතන භික්ෂූන් වහන්සේ සම්බධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන මුල සිටම හැසිරුණේ අතිශය පක්ෂපාතී ලෙස ය.

පොලිසිය, දැන් බන්ධනාගාරය තවමත්, මෙතරම් සමාජ කතාබහක් ඇති වී තිබියදීත් තවදුරටත් එසේ හැසිරෙන්නේ කෙසේද?

අධිකරණය මගින් එම භික්ෂූන් වහන්සේව ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස නියෝග කර තිබියදීත්, තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද එම භික්ෂූන් වහන්සේ නවලෝක රෝහලට වී නීතියට ඉහළින් වෙසෙයි.

මෙවැනි තත්ත්වයකදී වෛද්‍යවරයාගේ නිර්දේශය මත කටයුතු කරන්නට බන්ධනාගාර නිලධාරීන්ට සිදු වේ.

දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ වසරකට වැඩි කාලයක් සිටියේ වෛද්‍ය නිර්දේශ මත ය.

දුමින්දගේ වෛද්‍යවරිය ඒ ගැන අධිකරණයට වාර්තා ලබාදී තිබිණි.

එසේ නම්, නවලෝක රෝහලේ භික්ෂූන් වහන්සේගේ වෛද්‍යවරයා එහිම ප්‍රතිකාර ගත යුතු යැයි අධිකරණයට වාර්තා කර තිබිය යුතුය.

එසේ වාර්තා කළේ නම්, එය අධිකරණයට පිළිගත හැකි මට්ටමක තිබුණේ නම්, අධිකරණයෙන් එම භික්ෂූන් වහන්සේ ජාතික රෝහලට මාරු කරන ලෙස නියෝග කරයිද?

අධිකරණයේ නියෝග ඉටුනොකිරීමට සාධාරණ හේතුවක් බන්ධනාගාර නිලධාරීන් විසින් දක්වා තිබේද?

එසේ නැත්නම් එය අධිකරණයට අපහාස කිරීමක් නොවන්නේද?

චෝදනාව ඔප්පු කිරීම හෝ නොකිරීම කෙසේවෙතත්, දැනට පවතින තත්ත්වය යටතේ දරුවකුගේ ජීවිතය – අනාගතය – ආරක්ෂාව සමග සෙල්ලම් කරමින් නීතියේ ආධිපත්‍යයේ රෙදි මේ තරම් ගැලවීමට ඉඩදෙන්නේ කවර හේතුවක් මත ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12 ව්‍යවස්ථාවේ මෙසේ දැක්වේ.

12 (1) නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය.
12 (2) කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී-පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හෝ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේය.

රටේ උත්තරීතර නීතියේ සඳහන් මේ කරුණු මේ භික්ෂූන් වහන්සේ ඉදිරියේ නිකම්ම නිකම් වචන වන්නට ඉඩදුන්නේ කවුද?

අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කෙරිණි.

මාධ්‍යවලින් සිද්ධිය යටගැසීය.

දැන් පෞද්ගලික රෝහලක රෙස්ට් කරමින් නම්…

යුක්තිය ඉටු වීම පමණක් ප්‍රමාණවත් නොවේ. යුක්තිය ඉටුවන බව පෙනෙන්නට තිබිය යුතුය.

ජාතික ජන බලවේග ආණ්ඩුව පත්කරගැනීමේ ජනතා අභිලාෂ අතර ඉහළින්ම තිබූ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ අපේක්ෂාව මෙසේ හෑල්ලු කිරීම බරපතළ කරුණකි.

ආණ්ඩුව අධිකරණයේ කාර්යයන්ට අතගැසිය යුතු නැත.

එහෙත් අධිකරණ නියෝග මේ තරම් නොසළකා හරින්නට රාජ්‍ය නිලධාරීන්ට හැකිවන්නේ නිකම්ම-නිකම් ඔවුන්ට හිතෙන නිසා වන්නට කිසිදු ඉඩක් නැත.

මෙහි වගකීම ආණ්ඩුව ගත යුතුය.

නිලධාරීන්ට කොහෙන් හෝ ෆුල් ඉන්ෂුවරන්ස් එකක් ලැබී තිබිය යුතුය.

(ශාලික විමලසේනගේ ෆේස්බුක් පිටුවෙනි)