
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ, පාස්කු ඉරුදින ත්‍රස්තවාදි ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අදාළව අනාවරණය වූ තොරතුරු මතය. මෙය 2024 ඔක්තෝබරයේ සිට සිදු කළ දීර්ඝ විමර්ශනයකි. එහිදී 200කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඒ ප්‍රකාශ මඟින් අනාවරණයව ඇති කරුණු අනුව සුරේෂ් සලේගේ භාවිතයේ ගැටලු රැසක් හෙළි වී තිබේ. එබැවින් ඔහුගේ නිශ්චිත වගකීම වන්නේ විමර්ශනවලට සහාය දීමය. ඔහු නිදොස් නම්, එයද ඔප්පු කළ යුතුය. ඔහු වැරදි නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී එය ඔප්පු කළ යුතුය.
රනිල් සහ සලේ
පාස්කු ඉරුදින ත්‍රස්තවාදි ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිසමේදී සුරේෂ් සලේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පිළිබඳ සඳහන් කර ඇත. ඔහු පවසා ඇත්තේ තමන් අයිඑස්අයිඑස් සංවිධානයේ කටයුතු සම්බන්ධයෙන් එවකට අගමැති රනිල් වික්‍රමසිංහට පැවසූ කරුණු කෙරෙහි ඔහු අවධානය යොමුනොකළ බවයි. රනිල් වික්‍රමසිංහ විසින්ද කොමිසමේදී සලේ ගැන කියා තිබිණි. ඔහු එහිදී මාධ්‍ය කොමිසම වාර්තා කිරීමෙන් ඉවත් කරන ලෙස ඉල්ලා තිබිණි. මාධ්‍ය නැතිව ඔහු පවසා තිබුණේ නැඟෙනහිර මුස්ලිම් ප්‍රජාවගේ විවිධ කණ්ඩායම් නිර්මාණයට සලේ මැදිහත් වූ බවයි. සලේ අන්තවාදි කණ්ඩායම් පෝෂණය කිරීමට පෞද්ගලිකව මෙන්ම යුද හමුදා බුද්ධි අංශය මඟින්ද මැදිහත් වූ ආකාරයත්, ඒ ගැන තමා දන්නා සෙසු තොරතුරුද එහිදී රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසූ බව වාර්තා විය. ඒවා පාස්කු කොමිෂන් වාර්තාවේ රහසිගත ලේබලය යටතේ තැබිණි.
මේ කොමිසමේදී සිදු වූ තවත් විශේෂ කරුණක් වන්නේ 2014 සිට නැඟෙනහිර යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහරාන් පිළිබඳව සලේට තොරතුරු සැපයූ බව තහවුරු වීමයි. තමා එවැන්නක් මුල සිට දැන නොසිටි බව පැවසුවද, පසුව නීතිපති දෙපාර්තමේන්තුව ලිපියක් පෙන්වා ඔහුට කළ දැනුම්දීමක් පිළිබඳ ප්‍රශ්න කර තිබිණි. ඉන් පසු ඔහු එය පිළිගෙන ඇත.
හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දාට දුන් ගිනිඅවි පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර ඇත. ඔහුට රජයෙන් දුන් ගිනිඅවි නැවත දී නැත. රජයෙන් නොදුන් ගිනිඅවිද භාර දී තිබේ. මේ ආකාරයටම පිල්ලෙයාන්ටද ගිනිඅවි දුන් බවටත්, මුස්ලිම් කණ්ඩායම්වලට ගිනිඅවි දුන් බවටත් තොරතුරු අනාවරණය වී ඇත. ආමි මොහිදීන් වැනි පිරිස් යුද හමුදා බුද්ධි අංශයට බඳවාගෙන කටයුතු කර තිබේ. උපක්රමශීලි මෙහෙයුම් සඳහා යොදාගත් මේ පිරිස් මඟින් පසුව අපරාධ සිදුකර ඇති බවටද තොරතුරු ඇත. ඔවුන්ට දුන් ගිනිඅවි නැවත භාර දී නැත.
කවුද මේ සලෙයි?
ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අධ්යක්ෂවරයා ලෙසත්, රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා ලෙසත් සුරේෂ් සලෙයි කටයුතු කර ඇත. මේජර් ජෙනරාල්වරයකු ලෙස කටයුතු කළ ඔහු, දැන් විශ්රාමිකය. 1987දී හෝ ඒ ආසන්න වර්ෂයකදී යුද හමුදාවට බැඳී ඇති ඔහු, 1993 වසරේ සිට යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කර ඇත. 2012 වසරේදී යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙස පත්කරනු ලැබූ ඔහු, 2016 දී ඉන් ඉවත්කැරිණි.
ඉන් පසු මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේත්, ඉන්දියාවේත් ගතකළ ඔහු, 2019 නොවැම්බර් 16 පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ධුරයට පත්කැරිණි. ඔහු ඒ තනතුරින් ඉවත්කරන ලද්දේ 2024 සැප්තැම්බර් 21 දා පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවය.
පසුගියදා (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරුදින ත්‍රස්තවාදි ප්‍රහාරය සැලසුම් කිරීම සහ ඊට අනුබල දීම පිළිබඳ සැකය මතය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කළ රඳවා තබාගැනීමේ නියෝග මත සුරේෂ් සලේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකැරෙමින් තිබේ.
දර්ගා නගරයේ පහරදීම
සුරේෂ් සලේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුරය දරමින් සිටියදීය, අලුත්ගම – දර්ගා නගරයේ සිංහල-මුස්ලිම් ප්‍රශ්නයක් මතුවූයේ. 2014 ජූනි මාසයේ මේ සිදුවීම ඇරඹෙන්නේ භික්ෂූන් වහන්සේ නමක මාර්ගයේ යන විට මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු පහරදුන් බවට එල්ල වූ චෝදනාවකිනි. මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන ලදී. විවිධ සංවිධාන මේ සම්බන්ධයෙන් හඬනැඟූ අතර, බොදු බල සේනා සංවිධානය විශේෂ රැස්වීමක් සංවිධාන කළේය. මේ රැස්වීමට මුලදී ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් විරුද්ධ වුවද, පසුව අනුමැතිය දීමට සිදුවිය.
පහරදීමට ලක් වූ භික්ෂූන් වහන්සේ සමඟ සිකුරාදා පස්වරුවේ ඉස්ලාම් පල්ලිය ඉදිරියෙන් පෙරහරක් ගියහ. එහිදී ඇති වූ ප්‍රශ්නය බැරෑරුම් වූ අතර, මුස්ලිම් කඩ ගිනිතැබීම, වෙඩි තැබීමක් මෙන්ම මරණ කිහිපයක්ද සිදු විය. අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු හෝ අත්අඩංගුවට ගෙන නැත. ගිනිතැබීම්වලට සම්බන්ධ පිරිසක් එවකට කළුතර දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රන්ගේ උපදෙස් මත අත්අඩංගුවට ගැනිණි. ඔවුන් ආරක්ෂක අංශවල පිරිසක් වූ අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් කර සිටි මේ පිරිස ඉහළින් පැමිණි නියෝගයක් මත හදිසියේම නිදහස් කැරිණි. නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ පිළිබඳ සටහන් යොදා තිබූ අතර, ඔහු පොලිස් විශේෂ විමර්ශන ඒකකයටද මේ පිළිබඳ ප්‍රකාශ දී තිබේ.
මේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමට ආගමික නායකයන්, නීතිඥවරුන් වන අලි සබ්රි, හිජාස් හිස්බුල්ලා, ශිරාස් නූර්දීන්, මාධ්‍යවේදි එන්.අම්. අමීන් ඇතුළු මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන විද්වතුන් පිරිසක් සහ ආරක්ෂක අංශ නියෝජිතයෝ රැසක් අලුත්ගමට එක්වූහ. මේ සඳහා සුරේෂ් සලේද සහභාගි විය. ඒ සාකච්ඡාවේදී නීතිඥ හිජාස් හිස්බුල්ලා විසින් චෝදනා කරන ලද්දේ දර්ගා නගරයේ සිදුවීම් පිටුපස බුද්ධි අංශ සිටින බවටයි. මෙහිදී සුරේෂ් සලේ සහ හිජාස් හිස්බුල්ලා අතර උණුසුම් සංවාදයක් ඇති වූ අතර, සලේගේ මැදිහත් වීමෙන් හිස්බුල්ලා සාකච්ඡාවෙන් ඉවත්කරන ලදි.
ප්‍රගීත් එක්නැලිගොඩ
2015 ජනවාරි 26 දා පැවැති ජනාධිපතිවරණයට දින 2කට පෙර, එනම් ජනවාරි 24 වැනිදා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කැරිණි. මේ ප්‍රගීත් එක්නැලිගොඩ ය, ‘රාජපක්ෂ පවුල් ගස’ ලිවුවේ, ඇන්දේ. 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵලයට එහි තීරණාත්මක බලපෑමක්ද විය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු වූ අරුන්දික ප්‍රනාන්දුත්, හිටපු නීතිපති මොහාන් පීරිස් වැනි අයත් කිවුවේ එක්නැලිගොඩ අතුරුදන් වී නැති බවත්, ඔහු විදේශ රටක ජීවත් වන බවත් ය. අධිකරණයට කැඳවීමෙන් පසු ඔවුන් කිවුවේ මිතුරකු ඒ වග කී බවයි. ඒ කතාවලට අදාළ කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරන්නට ඔවුන් සමත් වූයේ නැත.
2015 යහපාලන ආණ්ඩුව කාලයේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කැරිණි. මෙහිදී දුරකතන විශ්ලේෂණ වාර්තා කෙරෙහි දැඩි අවධානයක් යොමුවිය. එහිදී අනාවරණය වූයේ මීට බුද්ධි අංශ සම්බන්ධතාවක් ඇති බවයි. ඒ පිළිබඳ තොරතුරු විමර්ශනය කිරීමට ගත් උත්සාහයන් එවකට යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා වූ සුරේෂ් සලේ විසින් වළක්වන ලදි. එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මේ පිළිබඳ හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නේය. අධිකරණයෙන් සුරේෂ් සලේ කැඳවිණි. අධිකරණය ඔහුට අවවාද කළේ විමර්ශනවලට සහයෝගය දෙන ලෙසයි. එහෙත් ඔහු එවැනි සහයෝගයක් දුන්නේ නැත. නැවත සලේ කැඳවිණි. මෙසේ විමර්ශන ඉදිරියට යන විට හදිසියේම විශාල ප්‍රචාරයක් කරළියට ආවේය. ඒ, එක්නැලිගොඩ එල්ටීටීඊකාරයකු බවයි.
කෙසේවෙතත් රජයේ ආයතන 10ක තොරතුරු මත කරන ලද විමර්ශනයට අනුව මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊ ත්රස්තවාදයට සම්බන්ධ වී හෝ ඊට අනුබල දී හෝ නැති බවත්, ඔහුට එරෙහිව කිසිදු ආයතනයක් හරහා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝමාගම මහෙස්ත්‍රා අධිකරණයට නිල වශයෙන් දැනුම්දුන්නේය. එහෙත් ප්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊයෙන් මුදල් ගත් බවත්, ඔහු මරාගෙන මැරෙන බෝම්බ කට්ටල සඟවන්නට උදවු කළ බවත් ඇතුළු බරපතළ චෝදනා රැසක් යුද හමුදා බුද්ධි අංශය මගින් ප්‍රසිද්ධ කෙරිණි. ඒ අතරවාරයේ මේ සිද්ධියට සම්බන්ධ ගිරිතලේ යුදහමුදා බුද්ධි කඳවුරේ ලිපිගොනු සඟවන්නටද උත්සාහ දැරූ බවට චෝදනා එල්ල විය.
සලේ මැලේසියා යයි
2016 වසර අගදී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කරන ලද්දේ යුද හමුදා බුද්ධි අධ්යක්ෂවරයා රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් සිදුකරන බවටයි. ඒ අනුව එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2016 නොවැම්බර් මාසයේදී ඔහු යුදහමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කරන ලද අතර, 2016 දෙසැම්බර් 1 හෝ ඊට ආසන්න දිනකදී ඔහු මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජකාරි සඳහා පිටත්ව ගියේය.
ඉන් පසු නැවතත් සලේ ශ්‍රී ලංකාවට පැමිණියේ 2017 නොවැම්බර් 4 දා හෝ ඊට ආසන්න දිනක ය. 2017 නොවැම්බරය අග යළිත් ඔහු රටින් පිටව ගියේය.
2018 දෙසැම්බරයේදී සුරේෂ් සලේ නැවතත් මෙරටට ආවේය. 2019 ජනවාරි 3දා ඔහු යළිත් ඉන්දියාවට ගියේ පාඨමාලාවකට බව පැවසිණි. මේ අතරවාරයේය, මාවනැල්ල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි වූයේ. ඒ, හරියටම 2018 දෙසැම්බර් 24 – 26 අතර ය. එවකට කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනගේ උපදෙස් මත මීට අදාළ විමර්ශන ඇරඹිණි. එම විමර්ශනවලදී අනාවරණය වූයේ සහරාන් නම් තැනැත්තකු මේ බුදුපිළිම සිදුවීමට සම්බන්ධ බවයි. එහෙත් කුමක් හෝ හේතුවක් මත සහරාන් නමැත්තකු මේ සිදුවීම්වලට සම්බන්ධ බව විමර්ශකයන් විසින් අධිකරණයට වාර්තා කර තිබුණේ නැත.
ජමීල්ගේ කතාව
ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ ලේකම් අසාද් මවුලානා පවසන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සිදු වූ දිනයේ සලේ විසින් දුරකතනයෙන් තමා අමතා ජමීල් ගන්නා ලෙස පැවසූ බවයි. ජමීල් යනු ටාජ් හෝටලයේ බෝම්බය පුපුරුවා ගැනීමට ගොස්, කුමක් හෝ හේතුවක් නිසා පුපුරුවා නොගත් බෝම්බකරුය. ඉන් පසු ඔහු යන්නේ දෙහිවල එබනිසා පෙදෙසටය. අසාද් මවුලානාගේ නිවෙස ඇත්තේද එපෙදෙසේ ය. වීඩියෝ සාක්ෂිවලට අනුව ජමීල්ගේ අතේ දුරකතනයක් ඇත. පසුව එය අස්ථානගත වී තිබේ. යුද හමුදා බුද්ධි අංශය ජමීල් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටි බවද අනාවරණය වී තිබේ.
සලේගේ සාක්ෂිය
පාස්කු ඉරුදින ත්‍රස්තවාදි ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභාවේදී සුරේෂ් සලේ පිළිගත්තේ තවුහිද් ජමාත් සංවිධානයේ පිරිස් සහ බොදු බල සේනා සංවිධානයේ පිරිස් එකට කැඳවා සාකච්ඡා කළ බවයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ කාර්යාලයට ශ්‍රී ලංකා තවුහිද් ජමාත් නායක අබ්දුල් රාසික් සහ සලේ පැමිණි බවට සාක්ෂි ඉදිරිපත් වී තිබේ. කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සලේ පිළිගෙන තිබුණේ නැඟෙනහිර බුද්ධි ප්‍රධානීන් සහරාන් පිළිබඳ තොරතුරු දුන් බවයි. එසේම බුද්ධි අංශවල පිරිස් බෝම්බකරුවන්ගේ කණ්ඩායම්වල සිටි බවද ඔහු මෙහිදී පවසා තිබිණි.
සාරාගේ තුන්වැනි ඩීඑන්ඒ වාර්තාව
2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි ප්‍රධානි ධුරයට පත් කැරිණි. ඉන්පසු පාස්කු ප්‍රහාර විමර්ශන අධීක්ෂණයට සලෙයි මැදිහත් විය. ආන්දෝලනයට තුඩු දී ඇති පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් පිළිබඳ තුන්වැනි ඩීඑන්ඒ පරීක්ෂණයක් කරන ලෙස බලපෑම් කර ඇත්තේ සලේය. එය තහවුරු කෙරෙන ප්‍රකාශ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි නිලධාරීන් විසින්ම දෙනු ලැබ තිබේ. සාරා යනු කටුවාපිටිය බෝම්බකරු වූ හස්තූන්ගේ බිරියය. ඇය හින්දු ආගමේ සිට ඉස්ලාම් භක්තිකයකු බවට පත්ව ඇත්තේ අබ්දුල් රාසික්ගේ පල්ලියේදී බව අනාවරණය වී ඇත.
එපමණක් නොවේ, සාරා මියගිය බව තහවුරු කිරීම සඳහා සලේට තිබූ අවශ්‍යතාව කොතරම්ද යත්: ඇයගේ තුන්වැනි ඩීඑන්ඒ වාර්තාව ගැනීම සඳහා සලේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවටද ගොස් ඇත. ඉන් පසු එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සාරා මියගිය බවක් ප්‍රසිද්ධ කළේය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් එවැන්නක් මෙතෙක් නිල වශයෙන් සඳහන් කර නැත.
අත්අඩංගුවට ගත් සුරේෂ් සලේගේ භූමිකාව ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක සාධකයක් වන්නේ කෙසේද යන්න පැහැදිලි වන්නේ මේ කරුණු එකිනෙක ගෙන බැලීමේදීය.
(සිළුමිණ පුවත්පතට ශාලික විමලසේන ලියූ ලිපියකි)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart