August 28, 2023

මෙරට 1948 දී නිදහස ලබා ගැනීමට සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියල්ලන් එකතු වූ බවත්, එම නිසා උතුරේ සිටින බුද්ධිමත් දෙමළ සහෝදර ජනතාවට කීමට ඇත්තේ, එම නිදහස ලබගැනීමට එකතු වූවා මෙන් දෙවැනි නිදහස් සටන කිරීමට ළඟදීම සියල්ලන්ටම එකතු වීමට සිදුවන බවත්, පුජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියෝ පවසති.

උන්වහන්සේ මෙසේද සදහන් කරති.

”දේශපාලන කොටස්වලට සිංහලකම, බෞද්ධකම, රට, ජාතිය ආගම මේ සියල්ලම මතක් වෙන්නේ ඡන්දෙ කිට්ටු වෙනකොට. අපි ස්වාමීන්වහන්සේලා සියලුදෙනා හොඳ අවබෝධයක් ඇතුව තමයි දැන් ඉන්නේ.

අවුරුදු 75ක් යනකන් අපිව පාවිච්චි කළා මිසක් අපිට කළ දෙයක් නෑ. අපිට කියන්නේ රටට, ජාතියට, ආගමට. එකයි මේ හිඟන තත්ත්වයට රට වැටිලා තියෙන්නේ. මේ රට ඈත අතීතයේ ඉඳලා ආරක්ෂා කළේ 2,500ක් පැරණි පක්ෂ. ඒ පක්ෂ දෙක තමයි ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙක. මේ පක්ෂ දෙක එකට එකතුව ක්‍රියා කළ හැම යුගයකදීම අපේ රට, ජාතිය, ආගම ආරක්ෂා කර ගන්න පුළුවන් වුණා. නමුත් දේශපාලනඥයන් විසින් මේ පක්ෂ දෙක දැන් කඩලා බිඳලා සුනුවිසුණු කරලා දාලා තියෙන්නේ.

අපිට අවශ්‍යයි නිදහසේ සාමයෙන් සැනසීමෙන් ජීවත් වෙන්න. ඒකත් නෑ. දේශපාලනඥයන්ට ඕන විදියට රට පාලනය කරන්න දීලා බලය දීපු මිනිස්සු ඊට පස්සේ බැන බැන ඉන්නවා. ඒක තමයි සිද්ද වෙන්නේ.

විශේෂයෙන්ම දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්නය තමයි, ඒ අය කියනවා උතුර නැගෙනහිර ඔවුන්ගේ නිජ භූමිය කියලා. 50ට 50 ඉල්ලපු දවසේ ඉඳලා කියනවා. ඇයි මේ පොඩි කෑලි දෙකක් අල්ලාගෙන නිජ භූමිය කියන්නේ. මුළු රටම ඔයාලාගේ කියන්න. අපි විරුද්ධ නෑ. නාගදීපය අපේ කියන්නම් ඔයාලා දෙව්න්දර ඔයාලගේ කියන්න. එතකොට දැන් මේ අපි බෙදපු මුල් ප්‍රශ්නය අපිට ඉවර කර ගන්න පුළුවන්. මෙහෙම බෙදි බෙදී සිටින්න අධිරාජ්‍යවාදීන් රට ආක්‍රමණය කරලා රටේ සම්පත් මංකොල්ල කනවා.

අද කවුද අපි මේ රටේ. පුරවැසියෝ නෙවෙයි. බෝඩින්කාරයෙක්ටත් අන්තයි. මේ ගහේ අත්තක් විතරක් ගැන අපි කතා කරන්න අවශ්‍ය නෑ. මේ ගහේ කඳයි මුලයි රකින්න අපි සටන් කරන්න ඕන. ඒ කඳයි මුලයි රැක්කොත් සිංහල ජාතියත් රැකෙයි, බුද්ධාගමත් රැකෙයි, පුරාවස්තුත් රැකෙයි, මේ ඔක්කොම රැකෙයි.”