November 5, 2026

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව කන්තලේ, අග්බෝපුර, දිවුල්ගස්වැව ප්‍රදේශයේ පිහිටි සෝමාවතිය රක්ෂිතය තුළ සිදුකළ වැටලීමකදී මහා පරිමාණ නීති විරෝධී ගංජා වගාවක් වටලා තිබේ.

නොවැම්බර් 03 වනදා සිදුකළ මෙම මෙහෙයුමේදී, අක්කර තුනක භූමි ප්‍රදේශයක වගාකර තිබූ ගංජා පැළ 35,000කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට බලධාරීන් සමත්ව ඇත. මීට අමතරව, තවත් අක්කර දෙකක භූමි ප්‍රමාණයක් අලුතින් ගංජා වගාව සඳහා සූදානම් කරමින් තිබියදී නිරීක්ෂණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර, කන්තලේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිරි නීතිමය කටයුතු සිදු කරයි.