November 5, 2026

දේපළ වෙළඳපොළේ මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම සහ ඊට සමගාමීව ඊට බැංකු ක්ෂේත්‍රයේ ඇති නිරාවරණය වැඩිවීම කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. යම් හෙයකින් දේපළ මිල ගණන්වල හදිසි හෝ දැඩි පහත වැටීමක් සිදුවුවහොත්, එහි බලපෑම සමස්ත මූල්‍ය පද්ධතිය වෙතම පැතිර යා හැකි බවට මහ බැංකුව අනතුරු අඟවයි.

තම නවතම ‘මූල්‍ය ස්ථාවරත්ව සමාලෝචනය 2026’ වාර්තාව නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ 2019 වසර පදනම් කරගනිමින් සකස් කරන ලද කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්, නිවාස සහ නිවාස සංකීර්ණ සඳහා වන විකුණුම්කරුවන්ගේ ඉල්ලුම් මිල සූචක අදාළ කාලසීමාව තුළ අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම එම කාණ්ඩ ත්‍රිත්වයම 2019 වසරෙන් පසු වාර්තා වූ ඉහළම මිල ගණන් වෙත ළඟා වී ඇත.

ආර්ථික කටයුතු සක්‍රිය වීම, ගොඩනැගිලි ඉදිකිරීම් පිරිවැය ඉහළ යාම සහ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය හමුවේ ණය ගැනීමේ පිරිවැය පහළ යාම හේතුවෙන් දේපළ වෙළඳපොළ කෙරෙහි පැවැති ඉහළ ඉල්ලුම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වූ බව මහ බැංකුව පෙන්වා දෙයි. කෙසේ වෙතත්, දේපළ වටිනාකම් මෙලෙස අඛණ්ඩව ඉහළ යාම හමුවේ වෙළඳපොළ අසමතුලිතතාවයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ නිරන්තර අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

කෙසේ වෙතත්, මේ වන විට අදාළ පසුබිම වෙනස් වෙමින් පවතී. 2023 ජූනි මාසයෙන් පසු ප්‍රථම වරට, එනම් 2026 මැයි 26 වන දින, මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් 8.75% දක්වා ඉහළ නංවන ලදී. එමගින් වෙළඳපොළ පොලී අනුපාතික සහ රාජ්‍ය සුරැකුම්පත් ඵලදාව ඉහළ යාමට බලපෑමක් එල්ල වූ බව වාර්තාවේ සඳහන් වේ.

මේ අතර, 2026 ජූනි අග වන විට බැංකු පද්ධතිය විසින් ලබා දී ඇති සමස්ත ණය සහ අත්පිට මුදල්වලින් 13.7%ක්ම දේපළ වෙළඳපොළ ආශ්‍රිත කටයුතු වෙනුවෙන් වෙන්කර තිබීමෙන්, එම ක්ෂේත්‍රය කෙරෙහි බැංකු පද්ධතියේ ඇති නිරාවරණය ඉහළ මට්ටමක පවතින බව පෙනී යයි. වාර්තාවේ දත්තවලට අනුව, 2026 ජූනි අග වන විට මෙම ක්ෂේත්‍රයේ සමස්ත නිරාවරණය රුපියල් ට්‍රිලියන 2 ආසන්නයට පැමිණ ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව දෙඅංකයේ වර්ධනයකි. 2024 වසරේදී සෘණාත්මක වර්ධනයක් පෙන්නුම් කළ මෙම ක්ෂේත්‍රය, 2025 වසරේ සිට නැවතත් ප්‍රබල වර්ධනයක් කරා පැමිණ තිබීම කැපී පෙනේ.

ඉඩම් මිලදී ගැනීම, නේවාසික සහ නේවාසික නොවන ගොඩනැගිලි ඉදි කිරීම, සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණය ඇතුළු දේපළ වෙළඳපොළ කටයුතු වෙනුවෙන් ලබා දුන් ණය මෙයට ඇතුළත් වේ. මෙහිදී දේපළ වෙළඳපොළ ණය වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ සමස්ත නිරාවරණයෙන් 80%කට වඩා ආවරණය කරන නේවාසික දේපළ ආශ්‍රිත කටයුතු වන අතර, නේවාසික නොවන දේපළ කටයුතු සඳහා ලබා දුන් ණය ප්‍රමාණය පහත වැටී ඇත.

කෙසේ වෙතත්, මෙම ක්ෂේත්‍රයේ වත්කම්වල ගුණාත්මකභාවයේ යම් වර්ධනයක් දක්නට ලැබේ. දේපළ වෙළඳපොළ ණය අතුරින් අක්‍රීය ණය පෙන්නුම් කරන ‘3 වන අදියරේ ණය අනුපාතය’, 2026 ජූනි අග වන විට 10.4% දක්වා පහත වැටී ඇත්තේ පෙර වසරේ පැවැති 14%ක අගයට සාපේක්ෂවය. එමගින් ණය ව්‍යාප්තිය හමුවේ වත්කම්වල යම් සුබවාදී තත්ත්වයක් පෙන්නුම් කළද, එය තවමත් බැංකු ක්ෂේත්‍රයේ සමස්ත 3 වන අදියරේ ණය අනුපාතය වන 9.1%ට වඩා ඉහළ මට්ටමක පවතී.