July 3, 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩව දූෂණ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (2026.07.03) පෙරවරු 10.05 ට පමණ අත්අඩංගුවට ගත් බව අල්ල හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිල වශයෙන් නිවේදනය කරයි.

එම කොමිසමේ නිල මාධ්‍ය නිවේදනයට අනුව, මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පහත සඳහන් චෝදනා මතය.

– 2006 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී, ඒ සඳහා නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ නැමැත්තා විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු වශයෙන් බඳවා ගැනීම.

– ක්‍රමවේදයෙන් බැහැරව විදේශ පුහුණුවට යැවීම: එවකට පැවති සම්මත ක්‍රමවේදයන්ට පටහැනිව ක්‍රියා කරමින්, රජයේ මුදල් ගෙවා ඔහුව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික විද්‍යාලයේ (Britannia Royal Naval College) පුහුණු පාඨමාලාවකට සහභාගි කරවීමට අවස්ථාව සලසා දීම.

මෙම ක්‍රියාවන් මඟින් දූෂණය නමැති වරද සිදු කිරීමේ චෝදනාව මත අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් ඔහුව කොමිෂන් සභා පරිශ්‍රයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද හිටපු නාවික හමුදාපතිවරයාව ඉදිරියේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.