November 22, 2026

රාජ්‍ය නිලධාරීන්ට නිල වාහන ලබා දීම වෙනුවට ප්‍රවාහන දීමනා ගෙවීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය පියවර ගන්නා බවත්, එම ක්‍රමවේදය අවභාවිත වීම වැළැක්වීම සඳහා නීතිරීති දැඩි කරන බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

නව නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ පවා නීතිමය පියවර ගන්නා බවට එම චක්‍රලේඛය මගින් අනතුරු අඟවා තිබේ. තම පෞද්ගලික වාහන භාවිත කරන රාජ්‍ය සේවකයින් සඳහා මසකට රුපියල් 100,000ක ප්‍රවාහන දීමනාවක් ලබා දෙන බවත්, එසේ තිබියදීත් ඇතැම් නිලධාරීන් තවදුරටත් නිල වාහන භාවිත කරන අවස්ථා වාර්තා වී ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

ඇතැම් නිලධාරීන් තම පෞද්ගලික වාහනවලින් සේවයට පැමිණ, පාර්ලිමේන්තුවට හෝ අධිකරණයට යාම වැනි වෙනත් රාජකාරි කටයුතු සඳහා නිල වාහන භාවිත කරන අවස්ථා ඊට ඇතුළත් වන බව එම නිලධාරියා පෙන්වා දුන්නේය.

රාජ්‍ය භාණ්ඩාගාරයට විශාල බරක් වී ඇති නිල වාහන නඩත්තු වියදම් අවම කිරීම, ඉන්ධන පරිභෝජනය කපා හැරීම සහ රියදුරන්ගේ අවශ්‍යතාව අඩු කිරීම මෙම ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීමේ අරමුණ වූ බවද ඔහු සඳහන් කළේය.

මෙම ක්‍රමවේදය සාර්ථක වීමට නම්, මෙම දීමනාව ලබා ගන්නා නිලධාරීන් නීතියට අනුකූලව කටයුතු කළ යුතු බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.