November 19, 2026

රාවණා ඇල්ල අභයභූමිය තුළ පිහිටි නිල් දිය පොකුණ නැරඹීම සඳහා සංචාරකයන්ට පැමිණීම, නව නීතිරීති යටතේ විධිමත් සංචාරක කටයුතු නිල වශයෙන් යළි ආරම්භ කරන තෙක් තාවකාලිකව අත්හිටුවා තිබේ.

අභයභූමිය තුළ සංචාරක කටයුතු සඳහා විධිමත් රාජ්‍ය නියාමන රාමුවක් සහ නව නීතිරීති ස්ථාපිත කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2026 සැප්තැම්බර් 15 වැනිදා අංක 2506/43 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය.

දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව ඇතැම් පුද්ගලයන් සංචාරකයන් එම ස්ථානය වෙත රැගෙන යාමට උත්සාහ කරන බව බලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද වලංගු අවසර පත්‍රයක් සහ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සංචාරක මඟපෙන්වන්නෙකුගේ සහාය නොමැතිව එම ප්‍රදේශයට ඇතුළුවීම සපුරා තහනම් වේ.

මෙම නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව පවතින නීතිමය විධිවිධාන යටතේ දැඩි නීතිමය පියවර ගන්නා බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, නිල් දිය පොකුණ අවට පිහිටි පාරිසරික පද්ධතිය සුරැකීමටත් මහජනතාවගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.