August 1, 2026

භූතානයේ පැවැති දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේදී, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වාර් උමාර් නිතරඟයෙන් එම සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස තේරී පත්වී ඇත.

ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, භූතානය, මාලදිවයින, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ සාමාජික සංගම් හතෙහිම පූර්ණ සහයෝගය ඔහුට හිමිවිය.

මෙම පත්වීම සිදුවන්නේ ජස්වර් උමාර් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට පත්ව වසර දෙකකට මඳක් වැඩි කාලයකට පසුවය.

ඔහුගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ ෆීෆා (FIFA) ශ්‍රේණිගත කිරීම් 207 සිට 187 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය වසර 15කට වැඩි කාලයක් තුළ ශ්‍රී ලංකාව ලැබූ ඉහළම ස්ථානය සනිටුහන් කරයි.

ඔහුගේ පරිපාලනය යහපාලන ප්‍රතිසංස්කරණ, දේශීය තරඟකාරිත්වය ශක්තිමත් කිරීම, යොවුන් සහ බිම් මට්ටමේ පාපන්දු ප්‍රවර්ධනය කිරීම සහ දිගුකාලීන පාපන්දු සංවර්ධනය කෙරෙහිද අවධානය යොමුකර ඇත.

මෙම අලුත් තනතුරට අමතරව, ජස්වර් උමාර් දැනට FIFA Grassroots Football Committee සහ ආසියානු පාපන්දු සම්මේලනයේ සංවර්ධන කමිටුවේ (AFC Development Committee) සාමාජිකයකු ලෙසද කටයුතු කරයි.