September 29, 2026

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති දූෂණ නඩුවේ විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ඔක්තෝබර් 08 වැනිදා ලබාදීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

දැනට ඇප මත පසුවන මෙම නඩුවේ විත්තිකරුවන් තිදෙනා වන්නේ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, හානිපූරණය සඳහා වන කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂිකා සේපාලිකා සමන් කුමාරි සහ මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බණ්ඩාර කොටගම යන අයයි.

අල්ලස් කොමිසම විසින් ගොනුකරන ලද චෝදනාවලට එරෙහිව විත්තිය විසින් මූලික විරෝධතා මතු කරන ලද අතර, කොමිෂන් සභාව වෙනුවෙන් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිණී සිරිවර්ධන කරුණු දැක්වූවාය.

අධිචෝදනා පත්‍රයට අනුව, 2022 මැයි 09 වැනිදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර, සෙවණගල පිහිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩමක අවසරයකින් තොරව ඉදි කර තිබූ බව කියන ගොඩනැගිල්ලකට සහ වෙනත් දේපළවලට හානි සිදුව තිබේ.

එම දේපළ සඳහා වන්දි ගෙවීම නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබියදීත්, විත්තිකරුවන් ස්වකීය නිල බලය භාවිත කරමින් හානිපූරණය සඳහා වන කාර්යාලයට අනුයුක්ත ඇතැම් රජයේ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් මිලියන 8.85 ක වන්දි මුදලක් ලබාගෙන ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

මෙම වන්දි මුදල් ගෙවීමට අදාළව දූෂණය නමැති වරද සිදුකිරීම සහ ඊට අනුබල දීම යන චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇත.