June 15, 2026

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වි සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව ජුලි මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

මෙම නඩුව අද ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාරගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ වාචික දේශන ඉදිරිපත් කිරිම අවසන් කළේය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල නිවේදනය කළේ මෙම නඩුවේ තීන්දුව ජූලි මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වි සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ විභාගය ද ඉකුත් සිකුරාදා අවසන් කෙරුණි.

ඒ අනුව පූජිත් ජයසුන්දරට එරෙහි නඩුවේ තීන්දුව ද ජූලි මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බවත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉකුත් සිකුරාදා නියෝග කර තිබිණි.