May 15, 2026

ඇමරිකානු ආර්ථිකය තුළ ඩොලර් බිලියන 10ක් ආයෝජනය කිරීමට පොරොන්දු වී ඇති ඉන්දීය බිලියනපතියෙකු වන ගෞතම් අදානිට එරෙහිව පවතින සාපරාධී වංචා චෝදනා ඉවත් කර ගැනීමට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව ඒ පිළිබඳ දැනුවත් මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

එම මූලාශ්‍රවලට අනුව මෙලෙස චෝදනා ඉවත් කර ගැනීමේ හැකියාව මතු වී ඇත්තේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥයෙකු ද වන අදානිගේ නීතිඥ Robert Giuffra විසින් පසුගිය මාසයේදී අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමක් කරමින්, මෙම නඩු කටයුතු පවතින තාක් අදානිට එම ආයෝජනය සිදු කළ නොහැකි බව ප්‍රකාශ කිරීමෙන් පසුව යැයි එක් ආරංචි මාර්ගයක් සඳහන් කළේය.

2024 මැතිවරණයෙන් ට්‍රම්ප් ලැබූ ජයග්‍රහණයෙන් පසුව, එම මුදල ආයෝජනය කර ඇමරිකාව තුළ රැකියා 15,000ක් උත්පාදනය කරන බවට අදානි ප්‍රසිද්ධියේ පොරොන්දු වී තිබිණි.

අදාළ ආරංචි මාර්ග අනුව ජියුෆ්රා සිය පිටු 100ක ඉදිරිපත් කිරීමෙන් වැඩි කොටසක් වැය කළේ මෙම නඩුවට නිසි අධිකරණ බලයක් නොමැති වීම සහ සාක්ෂි හිඟකම හේතුවෙන් එය දුර්වල එකක් බව තර්ක කිරීමට බවයි.

පසුගිය මාසයේදී ඇමරිකානු සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නඩුවකට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ ලේඛනවල ද ජියුෆ්රා මෙවැනිම තර්කයක් ඉදිරිපත් කර තිබුණේය.

ඇතැම් පැමිණිලි මෙහෙයවන්නන් මෙම ඩොලර් බිලියන 10 ආයෝජනය නඩුව කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන බව පැහැදිලි කර තිබූ අතර, අනෙක් පිරිස මේ පිළිබඳව වෙනස් මතයක් දැරුවේද යන්න පැහැදිලි නැත.

අධිකරණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මෙතෙක් වහාම ප්‍රතිචාර දක්වා නොමැත.

අදානිගේ නඩුව ඉවත් කර ගැනීමට අධිකරණ දෙපාර්තමේන්තුව සූදානම් වන බව මුලින්ම වාර්තා කළේ බ්ලූම්බර්ග් (Bloomberg News) පුවත් සේවයයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින්, ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂ පූර්වගාමියා වූ ජෝ බයිඩන්ගේ ධුර කාලය තුළ ෆෙඩරල් පැමිණිලිකරුවන් විසින් පවරන ලද ඉහළ පෙළේ සාපරාධී නඩුවක් අත්හැර දැමීමට උත්සාහ කරන නවතම උදාහරණය මෙය වේ.