June 10, 2024

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර උපාය මාර්ගික හමුවක් සිදු වූ බවට පළ වන වාර්තා එක්සත් ජනරජ පෙරමුණ ප්‍රතික්ෂේප කර තිබේ.

පාඨලී චම්පික රණවක ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ඉල්ලා ඇති බවට පළවන වාර්තා සමබන්ධයෙන් අදහස් දක්වන එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර එම වාර්තා ප්‍රතික්ෂේප කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කුමන හෝ සන්ධානයක් ගොඩනැගීම ද ප්‍රතික්ෂේප කර තිබේ.

රටම ග්‍රහණය කරගෙන ඇති වත්මන් ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ කැපවීම අවධාරණය කරමින් එහි මහ ලේකම් චන්ද්‍රසේකර, එම පක්ෂය රටේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ අරමුණින් පුළුල් වැඩපිළිවෙළක් කෙටුම්පත් කර එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඇතුළු ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන් කර තිබේ.

කෙසේවෙතත්, අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර ඇති චන්ද්‍රසේකර, එක්සත් ජනරජ පෙරමුණ සමඟ සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය කෙරෙහි කලකිරීම ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ-ආර්ථික පරිසරය පිළිබඳ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ වත්මන් අර්බුදයට රාජපක්ෂ පවුල මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද වගකිව යුතු බවයි.

එබැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිවකු හමු නොවීමට තීරණය කර ඇති බව ද ඔහු පවසා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ රාජපක්ෂ පවුල සමඟ කිසිදු සන්ධානයක් ගොඩනැගීමට ඇති හැකියාව ඔහු තරයේ ප්‍රතික්ෂේප කර ඇත.