July 29, 2023

කුවේටයේදී ශ්‍රී ලාංකිකයෙක් ඇතුළු 05දෙනකුට මරණ දඩුවම ලබාදීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය හෙළා දැක තිබේ.

කුවේටයේ සහ සිංගප්පූරුවේ දී මෙම සතියේ ක්‍රියාත්මක කරන ලද බහුවිධ මරණ දණ්ඩනය හෙළා දකින බවත්, ඕනෑම තත්වයක් යටතේ වුවද මරණ දඬුවමට විරුද්ධ වන බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශක සෙයිෆ් මගන්ගෝ (Seif Magango) සඳහන් කර ඇත.

කුවේටයේ සිරකරුවන් 05දෙනකුට සහ සිංගප්පූරුවේ සිරකරුවන් දෙදෙනකුට මෙසේ මරණ දණ්ඩනය ලබා දී ඇති අතර, සිංගප්පුරුවේ වසර 20 කට පසු මරණ දඬුවමට ලක් වූ පළමු කාන්තාව ද මේ අතර වේ.

මරණ දණ්ඩණය ක්‍රියාත්මක කිරීම තහනම් කරන ලෙස කුවේටයෙන් සහ සිංගප්පූරුවෙන් ඉල්ලා සිටින අතරම, නීතියෙන් හෝ ප්‍රායෝගිකව මරණීය දණ්ඩනය අවලංගු කර ඇති රාජ්‍යයන් 170කට වැඩි සංඛ්‍යාවකට සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටින බව ද සෙයිෆ් මගන්ගෝ සඳහන් කර තිබේ.

මරණ දණ්ඩනය ජීවත්වීමේ මූලික අයිතියට, වධ හිංසාවලින් සහ වෙනත් අමානුෂික සැලකිලිවලින් නිදහස්වීමේ අයිතියට, නොගැලපෙන බවත්, සෑම ස්ථානයකම ඇති සියලුම නීතිවලින් දඬුවමක් ලෙස එය ඉවත් කළ යුතු බවත්, හෙතෙම පවසයි.

2015 දී මුස්ලිම් පල්ලියක බැතිමතුන් 27 දෙනෙක් මරා දැමූ, මරාගෙන මැරෙන ප්‍රහාරයකට සම්බන්ධ බවට වරදකරු වූ පුද්ගලයකුට කුවේට් දේශයේදී පසුගියදා මරණ දඬුවම ක්‍රියාත්මක කළ බව වාර්තා විය.

මරාගෙන මැරෙන බෝම්බකරුගේ රියදුරා ලෙස ඔහුව අත්අඩංගුවට ගත් බව බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළද, ප්‍රහාරයේ ඔහුගේ භූමිකාව නිශ්චිතව දක්වා නැත.

කුවේටය නිශ්චිතව හඳුනා නොගන්නා ප්‍රජාවක සාමාජිකයකු වන මෙම පුද්ගලයා පසුගියදා ගල්ෆ් රාජ්‍යයේදී මරණ දණ්ඩනයට ලක් වූ පස් දෙනාගෙන් කෙනෙකි.

ඊජිප්තු ජාතිකයෙක් සහ ශ්‍රී ලාංකිකයෙක් ඇතුළු අනෙක් පිරිස විවිධ චෝදනාවලට වැරදිකරුවන් වූ බව රජයේ අභිචෝදක කාර්යාලය විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.