November 25, 2026

ආගමික සංහිඳියාවට හානිකර වන අන්දමේ ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ බව කියන සිද්ධියකට අදාළ නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) වරෙන්තු නිකුත් කළේය.

ඔහුගේ ඇපකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කෙරිණි.

රජයේ රසපරීක්ෂක වාර්තා ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩුව 2027 පෙබරවාරි 24 වැනිදා යළි කැඳවීමටද අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

භික්ෂු ශාසනයෙන් නෙරපාහරින ලද රාජාංගනයේ සද්ධාරතන, මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබිණි.

අනුරාධපුර පූජා නගරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයකට අදාළ වෙනත් නඩුවක් සම්බන්ධයෙන් ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.