August 4, 2026

දකුණු ඉන්දීය සිනමාව මෙන්ම දේශපාලනය ද උඩුයටිකුරු කරමින් තමිල්නාඩුවෙන් තවත් උණුසුම් පුවතක් වාර්තා වෙනවා.

DMK පක්ෂයේ ප්‍රබල නායකයෙකු මෙන්ම තමිල්නාඩු විපක්ෂ නායකවරයා වන උදයනිධි ස්ටාලින් අද(04) උදෑසන චෙන්නායි හි පිහිටි ඔහුගේ නිවසේදී පොලිස් අඩස්සියට ගෙන තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ මෑතකදී පැවැති දේශපාලන රැලියකදී, තමිල්නාඩුවේ වත්මන් මහ ඇමති සී. ජෝසෆ් විජේ නොහොත් ‘තලපති විජේ’ වෙත එල්ල කරන ලදැයි කියන අපහාසාත්මක ප්‍රකාශ කිහිපයක්.

කෙසේවෙතත්, මෙම සිදුවීම පිටුපස ඇති සැබෑ උණුසුම් තත්ත්වය මතුවන්නේ එම ජනරැලිය අතරතුරදීයි. එහිදී උදයනිධිගේ පාක්ෂිකයන් විසින් දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය නිළි ත්‍රිෂා ඉලක්ක කරගනිමින් විවිධ සූක්ෂම සහ අපහාසාත්මක සෙලෝගන් හඬනඟා තිබෙනවා. විජේ සහ ත්‍රිෂා අතර පවතින සුහදතාවය මුල්කර ගනිමින් කළ මෙම ප්‍රකාශ හමුවේ තමිල්නාඩු දේශපාලනය මෙන්ම සිනමා ලෝකය ද එකපාරටම ගිනිගෙන තිබෙනවා.

මෙම සිදුවීමෙන් පසු, විජේගේ පාලක ‘තමිළග වෙට්‍රි කසාගම්’ පක්ෂය වහාම ක්‍රියාත්මක වී ඇති අතර, ඔවුන් මේ පිළිබඳව පොලිසියට මෙන්ම ජාතික කාන්තා කොමිසමට ද පැමිණිලි කරමින් දැඩි නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියා.

එම පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය, උදයනිධිට එරෙහිව මුදල් හා අපහාස කිරීම් සම්බන්ධයෙන් FIR වාර්තාවක් ගොනුකර මෙලෙස ඔහුව අඩස්සියට ගෙන තිබෙනවා.

තලපති විජේ, ත්‍රිෂා සහ උදයනිධි අතර ඇතිවූ මේ අලුත්ම දේශපාලන-සිනමා ගැටුම ඉදිරියට කොතැනින් නතර වේවිද යන්න ගැන දැනට මුළු තමිල්නාඩුවම දැඩි අවධානයෙන් පසුවෙනවා.