March 23, 2026

රටේ ප්‍රමුඛතම යෙදුම් පාදක කුලී රථ වේදිකා වන Uber සහ PickMe, නවතම ඉන්ධන සීමාවන් හමුවේ සිය සේවාවන් ඉදිරියට ගෙනයෑමට සහාය ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා ඇත.

ප්‍රවාහන, ආහාර සහ අත්‍යවශ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමට ජනතාවට උපකාර කිරීමේදී සිය වේදිකා විසින් ඉටුකරන තීරණාත්මක කාර්යභාරය පෙන්වාදෙන මෙම සමාගම් දෙක, ඔවුන්ගේ රියදුරන්ට සහ බෙදාහැරීමේ හවුල්කරුවන්ට වැඩි ඉන්ධන කෝටාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටී.

අත්‍යවශ්‍ය සේවා සැපයීමට අමතරව, මෙම ආයතන විසින් සංචාරක කර්මාන්තයටද දායක වන බවත්, මෙම සේවාවන් ලබාදෙන රියැදුරන් හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ දිවි රැකෙන බවත් සමාගම් අවධාරණය කරයි.

“වර්තමාන සීමාවන් ලිහිල් කිරීම සඳහා ධනාත්මක පියවරක් ලෙස මාර්තු 21 වන දින සිට ඉන්ධන කෝටා වැඩි කිරීමට රජය ගත් තීරණය අපි සාදරයෙන් පිළිගනිමු. කෙසේවෙතත්, රට පුරා මගී ප්‍රවාහනය සහ බෙදාහැරීමේ සේවා පවත්වාගෙන යාම සඳහා රියදුරන් විසින් ඉටුකරන අත්‍යවශ්‍ය කාර්යභාරය සැලකිල්ලට ගත්විට මෙම සංශෝධිත කෝටාව ප්‍රමාණවත් නොවේ. අපගේ රියැදුරන් සඳහා සතිපතා ඉන්ධන ලබාදීම වැඩිකිරීම පිළිබඳව සලකා බලන ලෙස අපි රජයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.” යැයි Uber සහ PickMe වැඩිදුරටත් සඳහන් කරයි.