October 18, 2026

මාර්ග ආරක්ෂාව, තිරසාර ප්‍රවාහනය සහ ජාතික සංහිඳියාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ උපත ලැබූ සහ වර්තමානයේ නෝර්වීජියානු ප්‍රවාහන අමාත්‍ය ධූරය දරන කම්සි ගුණරත්නම් හමුවී තිබේ.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් කම්සි ගුණරත්නම් සඳහන් කර ඇත්තේ, බිමල් රත්නායක සහ ඔහුගේ දූත පිරිස නෝර්වීජියානු ප්‍රවාහන අමාත්‍යාංශය වෙත පිළිගැනීමට ලැබීම පිළිබඳව සතුටට පත්වන බවයි.

හරිත ප්‍රවාහන ක්‍රම වෙත සංක්‍රමණය වීම, ප්‍රවාහන අංශයේ අසාධාරණ ශ්‍රම තරගකාරීත්වය වැළැක්වීම සහ මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම යන කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවලදී අවධානය යොමු වී ඇත.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු හේතුවෙන් තරුණ පිරිස් ඇතුළු පුද්ගලයන් 2,700කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමැති බිමල් රත්නායක තමාට දැනුම් දුන් බව කම්සි ගුණරත්නම් ප්‍රකාශ කර තිබේ..

මෙම සංඛ්‍යාලේඛන ඉතා සංවේදී ඒවා ලෙස හදුන්වා ඇති ඇය, මාර්ග ආරක්ෂාව යනු ප්‍රවාහන ගැටළුවක් පමණක් නොව මානව ජීවිත, පවුල් සහ අනාගතය සමඟ බැඳුණු කාරණයක් බව අවධාරණය කර ඇත.

විවිධ ජාතික, සමාජීය සහ භූගෝලීය පසුබිම්වලින් පැමිණෙන ජනතාව නියෝජනය කිරීමේ වැදගත්කම සහ සමාජ ඇතුළත් කිරීම් පිළිබඳවත් අමාත්‍යවරුන් දෙපළ සාකච්ඡා කර තිබේ.

යාපනයේ උපත ලැබූ කම්සි ගුණරත්නම්, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අඛණ්ඩ බලපෑම ඉස්මතු කරන අතර සංහිඳියා ප්‍රයත්න සඳහා සිය සහයෝගය පළකර ඇත.

නෝර්වීජියානු කම්කරු පක්ෂයේ සාමාජිකාවක් වන සහ ඔස්ලෝ නගරයේ හිටපු නියෝජ්‍ය මේයර්වරියක් වන කම්සි ගුණරත්නම්, 2026 සැප්තැම්බර් මාසයේදී නෝර්වීජියානු ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස පත්කරන ලදී.