October 18, 2026

ලන්ඩනයේ ප්‍රසිද්ධ නිධානයකින් මීට සියවසකටත් පෙර සොයාගන්නා ලද විස්මිත වටිනා වස්තූන් අතර ශ්‍රී ලංකාවෙන් ගෙනගිය රතු කැට සහ අනෙකුත් මැණික් වර්ගද ඇතුළත්ව තිබේ.

මෙම වටිනා වස්තූන් එකතුව ලන්ඩන් කෞතුකාගාරයේදී ලබන මාසයේ සිට මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.

ස්වර්ණාභරණ සහ වටිනා වස්තූන් 500 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම නිධානය, 1912 වසරේදී ශාන්ත පෝල් ආසන දෙව්මැදුරේ බූදල් ගබඩාවක තිබී අහඹු ලෙස සොයාගත් බව වාර්තා වේ.

මෙලෙස සොයාගන්නා ලද වස්තූන් අතර ශ්‍රී ලංකාවෙන් සහ ඉන්දියාවෙන් ගෙනගිය නිල් කැට (sapphires), ස්පිනෙල්, දියමන්ති සහ රතු කැට ද, කොලොම්බියානු මරකත යොදා නිමවන ලද රන් අත්ඔරලෝසුවක් ද, චීනයේ නෙෆ්රයිට් ජේඩ්, පර්සියානු ටර්කොයිස් සහ මුතු ද ඇතුළත් වේ.

මෙම එකතුවේ ඇති වඩාත්ම විශේෂිත නිර්මාණයක් වන්නේ ක්‍රිස්තු පූර්ව දෙවන හෝ පළමු සියවසේදී ඊජිප්තුවේදී කැටයම් කරන ලද අතීත මැණික් කැටයමකි.

‘චීප්සයිඩ් නිධානය’ ලෙස හඳුන්වන මෙම එකතුව ප්‍රධාන වශයෙන් එලිසබෙත් සහ ජැකොබියන් යුගයන්ට අයත් ස්වර්ණාභරණවලින් සමන්විත වන අතර, එය ලෝකයේ සොයාගන්නා ලද මෙවැනි ආකාරයේ වඩාත්ම වැදගත් පුරාවස්තු එකතුවක් ලෙස සැලකේ.