August 5, 2026

සුඛෝපභෝගී මෝටර් රථ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේදී රුපියල් මිලියන ගණනක බදු වංචා කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්, ප්‍රකට ගේට්ටු නිෂ්පාදන සහ මෝටර් රථ ආනයන සමාගමක හිමිකරුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අගෝස්තු 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි අද නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ එම සමාගමේ සේවිකාවක වන අචිනි තාරකා මිහිරාණි දියස් සහ අතිල රවීනක වීරරත්න යන සැකකරුවන් දෙදෙනාය.

මෙම විමර්ශනය වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදුන්නේය.

අඩු වටිනාකම් සටහන් කරමින් (Under valued) භාණ්ඩ ආනයනය කිරීම හරහා රජයට විශාල බදු ආදායමක් අහිමි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බව රේගු නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නේය.

අඩු වටිනාකමක් සටහන් කරමින් මෙරටට ආනයනය කරන ලද මර්සිඩීස් බෙන්ස් (Mercedes-Benz) රථයක් හේතුවෙන් පමණක් රජයට හිමිවිය යුතු රුපියල් මිලියන 4.1ක බදු මුදලක් අහිමි වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.

තවද, අදාළ සමාගමට අයත් ඉන්වොයිස් පරීක්ෂා කිරීමේදී ඇමෙරිකානු ඩොලර් 49,815.75ක භාණ්ඩ ආනයනය කිරීම, ඩොලර් 19,926.30ක ණය තොරතුරු (LC) නිකුත් කිරීම සහ ඩොලර් 29,889.45ක භාණ්ඩ ආනයනය කිරීමට අදාළ තොරතුරු අනාවරණය වී ඇති බවද ඔවුහු ප්‍රකාශ කළහ.

මෙම විමර්ශනයට අදාළව අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනකුට විදේශ ගමන් තහනම් පනවන ලෙස ද රේගු නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ විමර්ශන නිලධාරීන් සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි සංක්ෂිප්තයක් ඉදිරිපත් කිරීමට අසමත් වී ඇති බවයි.

රේගු ආඥාපනතේ 127A වගන්තිය යටතේ සැකකරුවකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්නේද නැද්ද යන්න මහේස්ත්‍රාත්වරයාගේ නීත්‍යානුකූල බලතල මත සිදුවන්නක් මිස විමර්ශන නිලධාරීන් ඉල්ලන පරිදි දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කිරීම අවශ්‍ය නොවන බව හෙතෙම තර්ක කළේය.

පූර්ව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අනුව අධිකරණය හමුවේ නිසි සාක්ෂි සාරාංශයක් ඉදිරිපත් කළ යුතු වුවද, දැනට පවතින විමර්ශනයට අදාළව එවැනි සාක්ෂි සාරාංශයක් ඉදිරිපත් කර නොමැති බවද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව විමර්ශන නිලධාරීහු අධිකරණයට පැවසූහ.

සැකකරුවන් ඇප මත මුදාහැරියහොත් සාක්ෂි විනාශ කිරීමට හෝ ඊට බලපෑම් කිරීමට ඉඩ ඇති බැවින් ඔවුන් ඇප මත මුදාහැරීමට රේගු නිලධාරීහු විරෝධය පළ කළහ.

දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් අගෝස්තු 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, එදිනට විමර්ශනවල ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විමර්ශකයන්ට නියෝග කළේය.