November 6, 2026

පාකිස්ථානයේ පෙෂාවර් සිට ස්වාට් ප්‍රදේශය වෙත පැමිණි කාන්තාවක සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැකපිට දැනට සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු රහීම්අබාද් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු තමාට ලිංගික අතවර කළ බවට පෙෂාවර්හි පදිංචිකාරියක විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි.

එම පැමිණිල්ල පිළිබඳ වහාම ක්‍රියාත්මක වූ ස්වාට් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව, රහීම්අබාද් පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායම විසින් සීසීටීවී දර්ශන පරීක්ෂා කර සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බට්කේලාහි අල්ලාදන්ඩ් ප්‍රදේශයේ පදිංචි වාහිද් මහමුද් සහ පෙෂාවර්හි චම්කානි ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ගසාන්ෆර් ලෙස හඳුනාගෙන ඇත. ඔවුන් දෙදෙනාම පොලිස් කොස්තාපල්වරුන් ලෙස සේවය කරන පුද්ගලයන් බව පොලිසිය තහවුරු කළේය.

මූලික පරීක්ෂණවලට අනුව, සැකකරුවන් විසින් අදාළ කාන්තාව සහ ඇගේ ස්වාමිපුරුෂයා හෝටල් කාමරයකට කැඳවාගෙන ගොස් කාන්තාව ලිංගික දූෂණයට ලක්කර ඇත. සිද්ධිය පිළිබඳව යම් අයෙකුට හෙළි කළහොත් මරා දමන බවටද ඔවුන් තර්ජනය කර තිබේ.

වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් දෙදෙනාම මේ වන විට පොලිස් බාරයට ගෙන ඇත.