May 17, 2026

ලෙප්ටොස්පයිරෝසිස් සහ රුධිරගත පිළිකා රෝගී ප්‍රතිකාර සේවා සඳහා ප්‍රධාන වශයෙන් යොදාගනු ලබන අතිනවීන රුධිර ප්ලස්මා හුවමාරු කිරීම සඳහා භාවිතා කරනු ලබන යන්ත්‍ර දෙකක් (Com.Tec MultiProcedural Machine) ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම මඟින් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියට එක් කිරීම සඳහා පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත පසුගිය දා පරිත්‍යාග කරන ලදී.

ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාග‍මේ අධ්‍යක්ෂ මහේෂ් ප්‍රනාන්දු, සාමාන්‍යාධිකාරී අචල මෝසස් යන මහත්වරුන් විසින් අමාත්‍යවරයා වෙත මෙම යන්ත්‍ර භාරදීම සිදුකළ අතර, එම යන්ත්‍ර දෙකෙහි වටිනාකම රුපියල් මිලියන 50කට අධික වේ.

මෙම යන්ත්‍ර ජර්මනියේ නිෂ්පාදිත අති නවීන වෛද්‍ය උපකරණ වන අතර, මෙමගින් ප්ලාස්මා දේහ විච්ඡේදනය ප්‍රතිකාර ක්‍රමය හරහා මෙරට බහුලව වාර්තා වන රෝග තත්ත්වයන් රැසකට සාර්ථකව ප්‍රතිකාර කළ හැකිය.

මී උණ, සර්ප දෂ්ටනයට ලක් වූ රෝගීන්ට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග පාලනය කිරීම, අවයව බද්ධ කිරීමට පෙර සහ පසු රෝගීන්ට අවශ්‍ය විශේෂිත සත්කාර සැපයීමත් මෙම යන්ත්‍රය මගින් සිදු කෙරේ.

එමෙන්ම, රුධිර පිළිකා සහ තැලසීමියා රෝගයෙන් පෙළෙන රෝගීන්ට සෛල බද්ධ කිරීමේ සැත්කම් අපේක්ෂාවෙන් පසුවන රෝගී දරුවන්ට සහ වැඩිහිටියන්ට ප්‍රතිකාර ලබා දීමට මෙම උපකරණ සෘජුවම දායක වේ.