October 16, 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට බයිපාස් ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය බවට සඳහන් වෛද්‍ය වාර්තාවක් අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම වාර්තාව ඉදිරිපත් කෙරිණි.

අදාළ වාර්තාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව, එහි ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් වන බවත්, ඇයට බයිපාස් ශල්‍යකර්මයක් සිදුකිරීමේ අවශ්‍යතාව එහි දක්වා ඇති බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

එමෙන්ම කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ආවරණ ලිපියක් ද සහිතව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති බව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඉල්ලා සිටියේ මෙම වෛද්‍ය වාර්තාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව කරුණු දැක්වීමට අවසර දෙන ලෙසයි.

‘සිරිලිය සවිය’ සංවිධානයට ජාතික ඉතිරිකිරීමේ බැංකුව මඟින් ලබාදුන් රුපියල් මිලියන 10ක මුදලක් අයථා ලෙස භාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ශිරන්ති රාජපක්ෂ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර, ජාතික රෝහලට ඇතුළත්කොට සිටියි.