August 1, 2025

2008 වසරේදී මාධ්‍යවේදියකු සහ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කෙරුණු හමුදා බුද්ධි අංශ හිටපු නිලධාරීන් දෙදෙනෙකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

මෙලෙස නිදහස් කෙරුණේ හේමචන්ද්‍ර පෙරේරා සහ ප්‍රභාත් දුමින්ද වීරරත්න යන දෙදෙනායි.

සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවට තීරණය කරමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කෙරිණි.

රාජ්‍ය බුද්ධි මෙහෙයුම්වලට සම්බන්ධ වෙමින් සිටියදී, සුදු වෑන් රථයකින් වින්දිතයන් පැහැරගෙන ගොස් ඔවුන්ට පහර දුන් බවට වන චෝදනා මත පදනම්ව, දණ්ඩ නීති සංග්‍රහයේ 314 සහ 32 වගන්ති යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබිණි.

රාජ්‍ය බුද්ධි මෙහෙයුම්වල නිරත වෙමින් සිටියදී 2008 දී මාධ්‍යවේදියකුට සහ රජයේ රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල සාමාජිකයකුට පහර දුන් බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල විය.

සැකකරුවන් 2017 දී අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදා හරින ලදී.

නඩු විභාගය 2023 දී නැවත ආරම්භ විය.

සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාස් නුරෙඩින් සහ නීතිඥ ෆර්සාන් මොහොමඩ් පෙනී සිටියහ.

නඩු විභාගය අතරතුර, හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී සැකකරුවන් හඳුනාගෙන නොමැති බවට තර්ක කෙරුණු අතර අදාළ දිනයේ ඔවුන් විවිධ ස්ථානවල සිටින බව පෙන්වන තොරතුරු ද ඉදිරිපත් කෙරිණි.

මෙම සාධක මත පදනම්ව, තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන මෝසමක් ගොනු කර තිබිණි.

ඉදිරිපත් කරන ලද සාක්ෂි ඔවුන්ට එරෙහි චෝදනා සනාථ නොකරන බව අධිකරණය තීන්දු කළ අතර සැකකරුවන් දෙදෙනාම කොන්දේසි විරහිතව නිදහස් කිරීමට නියෝග කළේය.